53.84%
19.85%
20.11%
August 19, 2024

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13කට පසුව සිදුකරන පළමු වන අලි සංගණනය ආරම්භ කර ඇත.

කෙසේවෙතත්, ඉතා වැදගත් කටයුත්තක් වන මෙම සංගණනයට අදාළව අලින්ට හානිදායක ක්‍රියාකාරකම්ද වාර්තා වෙමින් පවතී.

ඉන් එකක් වන්නේ, අලි ඇතුන්ට ලුණු ආහාරයට ලබාගැනීමට අවස්ථාව සලසා, එම සතුන්ව වැව් සහ ජලය පවතින ස්ථාන වෙත ගෙන්වාගෙන, ගණනය කිරීම් සිදුකිරීමයි.

Ceylonwire.lk නිරීක්ෂණය කළ ආකාරයට ඇතැම් වනෝද්‍යානවල මෙම සංගණනයට සහභාගී වන නිලධාරීන්, අලි ඇතුන් ගමන් ගන්නා මාර්ගවල ලුණු තැබීමට කටයුතු කරයි.

එම නිලධාරීන්ට අනුව අලි ඇත්තු ලුණු ආහාරයට ගැනීමට ප්‍රියතාවක් දක්වන අතර, එලෙස ලුණු ආහාරයට ගන්නා සත්වයයෝ, ඇතිවන පිපාසය හේතුවෙන් පැය කිහිපයක් ඇතුළත ආසන්නතම ජලාශ වෙත ගමන් කර ජලය පානය කරති.

එවිට වැඩි කරදරයකින් තොරව අලි ඇතුන් ගණන් කළ හැකි බව ඇතැම් නිලධාරීන්ගේ අදහස වී ඇත.

මෙය අලි ඇතුන්ගේ ස්වාභාවික සංසරණ රටාවට සහ උන්ගේ ආහාර රටාවට බාධා පමුණුවමින් සිදුකෙරෙන ක්‍රියාවකි.

ශ්‍රී ලංකාව පුරා සිටින අලි ගහණය පිළිබඳ තීරණාත්මක මෙම දත්ත එක්රැස් කිරීම, පසුගිය සෙනසුරාදා ආරම්භ වූ සංගණනය අඛණ්ඩව සිදුකිරීමට නියමිතය.

දත්ත රැස් කිරීම සඳහා කැප වූ නිලධාරීන් 7,300ක් යොදවා ඇති අතර, සමීක්ෂණයට දිවයින පුරා ස්ථාන 3,130ක නිරීක්ෂණ ඇතුළත් වේ.

මෙම පුළුල් උත්සාහය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ කර ගත් සහයෝගිතා මුලපිරීමකි.

ගැහැණු අලි ඇතුන්, පිරිමි අලි ඇතුන් සහ වෙනත් වර්ගීකරණයන් ඇතුළු විවිධ කාණ්ඩ යටතේ දත්ත රැස්කරමින් පවතී.

වන අලි ගහණයේ වත්මන් තත්ත්වය පිළිබඳව අගනා අවබෝධයක් ලබාගැනීම සහ ඉදිරි සංරක්ෂණ ප්‍රයත්නයන් පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.

53.84%
19.85%
20.11%