January 5, 2025

බදුල්ල ප්‍රදේශයේ සිංහලයාගම, උණකන්ද, අන්නාසිගල ප්‍රදේශවල පවුල් 200කට අධික පිරිසකට විදුලිය ලබාදීමට නියමිතව තිබූ විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.

85%කට වඩා වැඩ නිමකර තිබියදීත්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමැති සමන්ත විද්‍යාරත්නගේ නියෝග මත ව්‍යාපෘතිය අතරමඟ නවතා ඇති බව The Sunday Morning වාර්තා කර තිබේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ 2024 සැප්තැම්බර් 26 වැනිදා සිට කිසිදු නිල විදුලි ව්‍යාපෘතියක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පැවසූ බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ ව්‍යාපෘති බලධාරීන් සමඟ නිල සන්නිවේදනයක් සිදුකර නොමැති බව ද ඔහු අවධාරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරී වසන්ත එදුසුරිය පවසාඇත්තේ ද ව්‍යාපෘතිය තවමත් නියෝග ලැබෙන අදියරේ පවතින බවයි.

“ව්‍යාපෘතිය තවමත් නියෝග ලැබෙන අදියරේ පවතින නිසා එය නතර කිරීමට හේතුවක් නැහැ. සමහර විට එය ඔවුන්ගේ අවශ්‍යතාව යටතේ නතර විය හැකියි, ”යනුවෙන් ඔහු පවසා තිබේ.

ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ කාලසීමාව පිළිබඳ ඔහු සඳහන් කර ඇත්තේ, විවිධ දෙපාර්තමේන්තු මගින් ව්‍යාපෘති හසුරුවන බැවින් නිශ්චිත තොරතුරු මේ මොහොතේ තමාට ලබාගත නොහැකි බවයි.

බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල මායිම් ප්‍රදේශවල පවුල් සඳහා ප්‍රතිලාභ සැලසෙන පරිදි සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය මුලින් දියත් කරන ලද්දේ ඌව පළාතේ විදුලිය නොමැති ප්‍රදේශ සඳහාය.

ඒ යටතේ දැනටමත් රුපියල් මිලියන 120ක ඇස්තමේන්තුගත වියදමින් කණු, කේබල් සහ සම්ප්‍රේෂණ මාර්ග සවිකිරීම ඇතුළු ප්‍රධාන අංග සම්පූර්ණ කර ඇත.

අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති ලලපිත් මානවඩු ජනවාරි 03 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යවන ලද ලිපියක චෝදනා කර තිබුණේ සම්ප්‍රේෂණ මාර්ග, විදුලි කණු ඇතුළු සවිකර තිබූ යටිතල පහසුකම් ඇමැති විද්‍යාරත්නගේ උපදෙස් මත මේ වන විට කඩා ඉවත්කර ඇති බවයි.

මෙම ගම්මානවල පදිංචිකරුවන් වසර 17ක් තිස්සේ විවිධ පාලන ආයතනවලට ආයාචනා කරමින් තම ප්‍රජාවට විදුලිය ඉල්ලා තිබිණි.

මේ අතර, විද්‍යාරත්නගේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශයට පටහැනිව ප්‍රකාශ කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය අත්හිටුවීම අවශ්‍ය වූයේ ඉඩම් ප්‍රතිපාදන පිළිබඳ විමර්ශනයක් සඳහා පහසුකම් සැලසීමට බවයි.

රක්ෂිත වනජීවී ප්‍රදේශ තුළ පිහිටි සිංහලයාගම, උණකන්ද සහ අන්නාසිගල ප්‍රදේශ දේශපාලඥයන් කිහිප දෙනෙකුට නීති විරෝධී ලෙස ලබාදී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

මෙම ප්‍රකාශය කර තිබුණේ විද්‍යාරත්න විසින් මෙම කලාපවල පවුල් 200කට අධික සංඛ්‍යාවකට විදුලිය ලබාදීමට අදහස් කරන විදුලි ව්‍යාපෘතිය නවතා දැමූ බවට පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.

මෙම රක්ෂිත කලාප තුළ නීතිවිරෝධී ලෙස ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ව්‍යාපෘතිය අත්හිටුවීමට අවශ්‍ය වූ බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%