February 10, 2025

දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, විදුලිය බිදවැටීමට බලපා ඇති මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බවයි.

එහෙත් මෙම තත්ත්වය නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බවද ඔවුන් සදහන් කර තිබේ.

පානදුර විදුලි උපපොළ ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි බිඳවැටීමක් සමග අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වූ බව එහි වැඩිදුරටත් සඳහන් ය.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධිවීමක් සිදු නොවී වළක්වා ගත හැකි වු බව ඉංජිනේරු සංගමය පවසයි.

කෙසේවෙතත් අද දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳවැටීම වළක්වාගත නොහැකි වූ බව අනුමාන කරන බව ඔවුනගේ අදහසයි

මෙවැනි විදුලි බිඳවැටුම් ඉදිරියේදී සිදුනොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් හා ජල පොම්ප බලාගාරවලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් පවන බව එම නිවේදනයේ සඳහන් වේ.

42.31%
17.27%
32.76%