September 8, 2024

2019 වසරට සාපේක්ෂව 2024 ජනාධිපතිවරණයේ දී මෙරට මැතිවරණ නීති කඩකිරීම්වල ප්‍රමාණාත්මක අඩුවීමක් නිරීක්ෂණය වී තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට අනුව ජූලි 31 සිට සැප්තැම්බර් 5 දක්වා කාලය තුළ මැතිවරණ උල්ලංඝනය කිරීම් 2,460ක් වාර්තා වී තිබේ.

මෙම පැමිණිලිවලින් බහුතරයක් (2,387) මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතට වැටේ.

ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වර්ගීකරණය කර ඇත්තේ පැමිණිලි 11ක් පමණි.

මෙය 2019ට සාපේක්ෂව 43.7%ක පහත වැටීමක් නියෝජනය කරයි.

මෙවර වාර්තා වී ඇති නීති උල්ලංඝනය කිරීම්වලින් 2,387ක් මැතිවරණ නීති කඩ කිරීම්වලට සම්බන්ධ අතර, එය 2019 දී වාර්තා වූ සිද්ධීන් 4,234 හා සැළකීමේදී 43.6%ක අඩුවීමකි.

ප්‍රචණ්ඩ ක්‍රියා ද කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, 2019 වසරේ සිදුවීම් 34ට සාපේක්ෂව මේ වසරේ වාර්තා වී ඇත්තේ සිදුවීම් 11ක් පමණි.

එය ආසන්න වශයෙන් 67.6%ක අඩුවීමකි.

මෙම පැමිණිලි 2460න් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි 930ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන බවට වාර්තා වේ.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,457ක් ලැබී ඇත.

මේ අතර, ජුලි 26 සිට ඊයේ (7) පෙරවරු 10 දක්වා කාලය තුළ මැතිවරණ නීති හෝ සාමාන්‍ය නීති උල්ලංඝනය කිරීම් 922ක් සම්බන්ධයෙන් පැමිණිලි හෝ සිදුවීම් 823ක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් වෙත ලැබී ඇතත් ඉන් තහවුරු වී ඇත්තේ 413ක් පමණි.

ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 703ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙසත් 40ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙසත් වර්ග කර ඇති අතර 179ක් රාජ්‍ය බලය, සම්පත් හෝ සේවකයන් අනිසි ලෙස භාවිත කිරීම යටතට වැටී තිබේ.

කෙසේවෙතත්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එවැනි පැමිණිලි 13ක් සහ රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ පැමිණිලි 60ක් පමණක් තහවුරු වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කර ඇත්තේ පොලිසියට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 233ක් ලැබී ඇති අතර ඉන් 168ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ 65ක් දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම් වන බවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහාචාර්ය අර්ජුන පරාක්‍රම හෙළි කරන්නේ සිකුරාදා (6) වන විට සිය මධ්‍යස්ථානය වෙත මැතිවරණ උල්ලංඝනය කිරීම් පැමිණිලි 1,143ක් ලැබී ඇති බවත්, ඒවායින් සමහරක් ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් අදාළ සංවිධාන, මැතිවරණ කොමිෂන් සභාව වැනි ද්විතීයික මූලාශ්‍ර හරහා රැස් කර ඇති බවත්ය.

මෙම ඇතැම් සිද්ධීන් සත්‍යාපනය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.

ඊයේ (7) වන විටත් කාලීන සංඛ්‍යාලේඛන සැපයීම සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තවමත් සංඛ්‍යාලේඛන ගණනය කරමින් සිටින බව ප්‍රකාශ කරමින්, මහාචාර්ය පරාක්‍රම අවධාරණය කර තිබුණේ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වන බවයි.

කෙසේවෙතත්, 2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් වාර්තා කර ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 2,460ක් පමණි.