August 31, 2024

මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ පැවැති තරුණ සමුළුවක දී මැතිවරණ නීති උල්ලංඝනය වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.

ජාතික තරුණ සමුළුව මැයෙන් පවත්වා ඇති එම සමුළුවට දිවයින පුරා යෞවන සමාජ වල තරුණ තරුණියන් සහ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිට ඇති අතර ඔවුන්ට සූදානම් කර තිබූ දිවා ආහාරය ලබාදීම ද මැතිවරණ නිලධාරීන් මැදිහත් වී තහනම් කර ඇත.

යෞවන සමාජ සම්මේලනයක සභාපතිවරයකු සහ ලේකම්වරයකු එහිදී දේශපාලන කතාවක් කර මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති අතර රාජ්‍ය දේපළ අවභාවිත කරමින් තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම රංගනයක යොදවා ඇතැයි ද කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සඳහන්
කරයි.

එම සමුළුවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වවලට එරෙහිව මහරගම පොලිසිය මගින් නීති ක්‍රියාමාර්ග ගන්නා බව ද කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය කියයි.

ජනාධිපතිවරයා ද එම සමුළුවට සහභාගි වී ඇති අතර ඔහු ප්‍රධාන දේශනය පවත්වා තිබේ.(ලංකාදීප)