September 1, 2023

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සාධාරණ ලෙස පැවැත්වීම සඳහා සියලු විධි විධාන යොදා තිබියදී  සුළු පිරිසක් විසින්   එය වළක්වා මෙරට පාපන්දු ක්‍රීඩාව යළි තහනමකට ලක් කිරීමේ කුමන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මක කරමින් පවතින බව ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ  හිටපු සභාපති ජස්වර් උමාර් මහතා කොළඹ දී අද (සැප්තැම්බර් 01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ජස්වර් උමාර් පාර්ශවයෙන් උප සභාපති ධූර අපේක්ෂකයෙකු ලෙස තරග කරන වෛද්‍ය  මනිල්  ප්‍රනාන්දු සහ අනුරාධපුර ලීගයේ හිටපු සභාපති සාගර පියතිලද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණ ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර  මාස 7 කට වැඩි කාලයක් ජාත්‍යන්තර  පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබුණි.

අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවන් දෙදෙනකු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළත්  ත්‍රිපුද්ගල ස්වාධීන පුද්ගල නිලවරණ කමිටුවක් මගින්  නාමයෝජනා කැඳවා අදාල නිලවරණය පැවැත්වීමට  විධිවිධාන යොදනු ලැබීය.

ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවත් කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කළේ මෙම නිලවරණය දැඩිව නිරීක්ෂණය කරන බවය.

තත්ත්වය  එසේ තිබියදී  නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පිරිසක් සහ අරගලකරුවන් යයි හඳුන්වා ගන්නා පිරිසක් පාපන්දු නිලවරණයට එරෙහිව විවිධ චෝදනා නගමින් මහජන විරෝධයක් ගොඩ නගා පාපන්දු නිලවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බව හිටපු සභාපති ජස්වර් උමාර් පැවසීය.

වසර සියයකට  ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තනතුරු සහ විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් විනාශ නොකරන්නැයි හිටපු සභාපතිවරයා ප්‍රතිවාදී පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ ජස්වර් උමාර් මහතා,

.”සුළු පිරිසක් පාපන්දු ක්‍රීඩාව යළි වලපල්ලට යැවීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා තිබෙනවා.ඔවුන් ගේ වුවමනාව යළි තහනමක් පනවා ගැනීමයි. අපේ රටේ නැවත කුලල් කා ගන්නවා කියන එක ලෝකයට පෙන්නන්න ඔවුන් උත්සාහ කරනවා. 10 දෙනෙක්ගේ කල්ලියක් මේ පිටුපස ඉන්නවා. ඒ වගේම පසුගිය පසුගියදා අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා. ජන්දය දිනවලා දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා. මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ලක්ෂ 30 ලක්ෂ 6 ට කරමු කිව්වා. ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 20,000 ක් එයාගේ බැංකු ගිණුමට  දාන්න කියලා කිව්වා. බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා.