August 31, 2024

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ සමාජ මාධ්‍ය ජාලවල පළකරන ලද පෝස්ට් හැටකට ආසන්න සංඛ්‍යාවක් ඒවායෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙටා ආයතනයට යොමුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාර්නියක් ඉරිදා ලංකාදීපයට පවසා ඇත.

එම වාර්තාවට අනුව, මේ වනවිට ඒවායෙන් පෝස්ට් දහයක් පමණ ඉවත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇතැයිද ඇය සඳහන් කර තිබේ.

ඇතැම් යුටියුබ් නාලිකා හිමියන් ජනමාධ්‍ය උපමාන උල්ලංඝනයවන ආකාරයට තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරමින් හෝ අගතියට පත්කරමින් හෝ ගෙනයන වැඩසටහන් පිළිබඳවද කොමිසමේ අවධානය යොමුව ඇති බව කී එම නිලධාරිනිය, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.

සමාජ මාධ්‍ය ජාලවල පළකරන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ පෝස්ට් හඳුනාගැනීමටත්, ඒවා ඉවත්කිරීමටත් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, එය මෙටා ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හිමි ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක වේ.

මෙතෙක් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි පළකරන ලද පෝස්ට් සම්බන්ධයෙන් බව ද ඇය වැඩිදුරටත් පවසා ඇත.