December 15, 2023

එළැඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් බේකරි සහ බිස්කට් නිෂ්පාදනය සඳහා බිත්තර එකතු කිරීම, ගබඩා කිරීම දේශීය වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යෑමට හේතුව බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සෑම කුකුළු ගොවිපළකම කුකුළන් සියයට 20ක් පමණ මියගොස් ඇති බවත්, එම නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී ඇති බවත්, එම සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් පවසයි.

නිවාඩු සමයේ නිෂ්පාදන වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ සහ කුඩා පරිමාණ බේකරි සහ බිස්කට් සමාගම් රැසක් බිත්තර තොග එකතු කර තිබෙන බවත්, ඔවුන් නොවැම්බර් 15 වැනිදා පමණ සිට බිත්තර තොග එකතු කිරීම ආරම්භ කර ඇති බවත්, ඔහු සඳහන් කරයි.

එම නිසා දේශීය වෙළෙඳපොළේ විශාල හිඟයක් නිර්මාණය වී ඇති අතර, බිත්තරයක මිල මේ වනවිට රුපියල් 65 පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට පවතින මෙම බිත්තර හිඟය බිත්තර නිෂ්පාදකයන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත්, උත්සව සමය අවසන් වූ වහාම බිත්තර මිල රුපියල් 40ක් දක්වා පහත වැටෙනු ඇති බව සංගමයේ භාණ්ඩාගාරිකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%