March 31, 2024

දේශීය බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ඇති බැවින් බිත්තරයක මිල එළඹෙන උත්සව සමයේදී රුපියල් 35කටත් අඩුවනු ඇති බව වාර්තා වේ.

උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (29) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැති මහින්ද අමරවීර පැවසුවේ දේශීය වෙළඳපොළේ දැනට බිත්තරයක මිල රුපියල් 42 සිට 48 දක්වා පවතින බවයි.

“අප්‍රේල් හෝ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දේශීය බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යන බවට ඇතැම් පිරිස් සහ කණ්ඩායම් මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. කෙසේවෙතත්, අමාත්‍යංශය විසින් ගනු ලබන දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදනය මේ වන විට සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ගොස් තිබෙනවා'” යැයි ද ඔහු පැවසීය.

“සාමාන්‍යයෙන් මේ රටේ දිනකට බිත්තර අවශ්‍යතාව ලක්ෂ 65යි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව දේශීය කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය දැනටමත් ලක්ෂ 75 ඉක්මවා තිබෙනවා. ඒ වගේම මේ රටට වාර්ෂිකව අවශ්‍ය කිකිළියන් සංඛ්‍යාව 85,000ක් වුණත්, සියලුම කුකුළු ගොවිපළවල මව් කිකිළියන් සංඛ්‍යාව 135,000 ඉක්මවා තිබෙනවා.සියලුම කුකුළු ගොවිපළවල් සියයට 100ක පැටවුන් ධාරිතාවක් සම්පූර්ණ කර තිබෙනවා.” යනුවෙන් ද ඇමැතිවරයා පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු කුකුළු ගොවිපළවල් සියල්ල මේ වන විට සක්‍රීය බවත් විශේෂයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ කුකුළු මස් සහ බිත්තර හිඟයකින් තොරව වෙළෙඳපොළට ලබාදීමට පියවර ගන්නා බවත් අමරවීර ඇමැතිවරයා පැවසීය.

42.31%
17.27%
32.76%