December 16, 2024

දෙසැම්බර් 6 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වූ කාලසීමාව වන විට ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණ අපේක්ෂකයන් සහ ජාතික ලැයිස්තු නාමයෝජනා අපේක්ෂකයන් 1,042 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වේ.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ සියලුම පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයන් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් දෙසැම්බර් 6 වැනි දින මධ්‍යම රාත්‍රී 12 වන විට මැතිවරණ ප්‍රචාරක වියදම්, මුදල් මූලාශ්‍ර ඇතුළුව තම ප්‍රචාරක වියදම් පිළිබඳ වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට සහ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතු විය.

මැතිවරණ කොමිෂන් සභාවට අනුව, මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය කරන පාර්ලිමේන්තු අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් නියමිත දිනට අදාළ කරුණු ඉදිරිපත් කර තිබුණේ 7,412 දෙනෙක් පමණි.

ජාතික ලැයිස්තු සඳහා නම් කර ඇති මුළු සංඛ්‍යාව 527ක් වූ අතර ඉන් වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණේ 434 දෙනෙක් පමණි.

ඒ අනුව ජාතික ලැයිස්තු නාමයෝජනා ලබාදුන් පිරිස සමස්තයක් වශයෙන් අපේක්ෂකයන් 1042ක් අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කර නොතිබිණි.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් ද තම වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු වුවත් එසේ කර තිබුණේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 493ක් පමණි.

මැතිවරණ කොමිෂන් සභා සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ අදාළ කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වන පාර්ලිමේන්තු අපේක්ෂකයන්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ට එරෙහිව එම වරද සිදු කළ ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් ගත් ආකාරයටම නීතිමය පියවර ගන්නා බවයි.

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අය පිළිබඳ පොලිසියට දන්වන බවත් පසුව එය නීතිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ආරම්භ කරනු ඇති බවත් ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා ගැනීමේ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්විණි.

 

42.31%
17.27%
32.76%