September 1, 2024

මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර ගන්නා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ලබා දෙන දීමනා සහ අනෙකුත් ගෙවීම්, අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්දෙන් (APIT) නිදහස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පසුගිය අගෝස්තු 13 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ මෙම බදු නිදහස් කිරීම සිදුකරන ලෙසයි.

භාණ්ඩාගාරයේ මතය වී ඇත්තේ එය නීතියට පටහැනි බැවින් එවැනි නිදහස් කිරීම් කිසිවක් ලබා දිය නොහැකි බවයි.

එලෙස තෝරා බේරා බදු නිදහස් කිරීම් ලබා දෙන්නේ නම් එය බදු ගෙවන අනෙක් අයට සිදුකරන අසාධාරණයක් සහ එය පිළිගත නොහැකි වනු ඇති බව භාණ්ඩාගාරයේ නිලධාරියකු පවසා ඇත.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මුදල් අමාත්‍යාංශයට යවන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ මැතිවරණ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට ලබා දෙන දීමනා/ගෙවීම්වලින් අදාළ බද්ද අඩු කළ පසු ඔවුන්ට ඉතිරිවන මුදල අඩු වන අතර ඒ අනුව රාජකාරී සඳහා දක්ෂ නිලධාරීන් බඳවා ගැනීම දුෂ්කර වනු ඇති බවයි.

ජනාධිපතිවරණයට මෙන්ම ඉදිරි මැතිවරණ සඳහා ද රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ සේවය අවශ්‍ය බවත් එම නිසා බදු නිදහස් කිරීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයට පෙර රාජ්‍ය නිලධාරීන්ට ගෙවිය යුතු බොහෝ ගෙවීම් මැතිවරණ කොමිසම විසින්ම නතර කර ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.