September 17, 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වැනි දින ඡන්දදායකයන්ට ආරක්ෂිතව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණිය හැකි බව සහතික කිරීමට වන අලි තර්ජනය වැළැක්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වීමට මැතිවරණ බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ, අලි-මිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්කවල ග්‍රාමීය ප්‍රදේශයන්හි පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී ඡන්දදායකයන්ට තර්ජනයක් එල්ල වියහැකි බවට පළවන බිය හේතුවෙනි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන 100ක් පමණ වන අලි තර්ජනයට ලක්ව ඇති බවයි.

අලි මිනිස් ගැටුම් බහුල ඡන්ද මධ්‍යස්ථාන හඳුනාගැනීමෙන් පසු ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිවරණ බලධාරීන්ද සීරුවෙන් සිටින බව ඔහු පවසා ඇත.

“අපි වනජීවී බලධාරීන් සමඟ සම්බන්ධ වෙනවා. අලි ඇතුන් එළවා දැමීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් වනජීවී නිලධාරීන් රතිඤ්ඤා සමඟ සූදානමින් සිටිනවා. ඒ අනුව ඡන්දදායකයන්ට ආරක්ෂිතව තම ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඔවුන්ගේ ඡන්ද බලය පාවිච්චි කිරීමට හැකිවෙයි.” යනුවෙන් ඔහු පවසා ඇත.

මෙය සෑම ඡන්දයකදීම සිදු කරන ක්‍රියාවක් බව ද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට තිබූ ඇතැම් ගොඩනැගිලිවල තිබූ බඹර කූඩු, ඡන්ද දායකයන්ගේ ආරක්ෂාව සඳහා ඉවත් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඊට අමතරව අධික වර්ෂාව, පස් කණ්ඩි කඩා වැටීම් සහ නාය යෑම් වැනි ස්වාභාවික විපත්වලින් ඡන්ද විමසීම සඳහා ඇතිවන බලපෑම් වළක්වා ගැනීමට පියවර ගැනීම වෙනුවෙන් මැතිවරණ බලධාරීන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ද සම්බන්ධ වී ඇත.