October 15, 2023

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ නව උත්සාහයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම සඳහා මුදල් ඉල්ලුම් කෙරෙන සංශෝධිත උප ලේඛනයක් මහා භාණ්ඩාගාරය වෙත යොමුකර තිබේ.

සංශෝධිත උප ලේඛනයට අනුව මැතිවරණ පැවැත්වීම සඳහා මුල් අදියරට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 2.2ක් පමණක් බවත් ඉතිරි මුදල මාස තුනක් ඇතුළත නිකුත්කිරීම ප්‍රමාණවත් බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ, දිගු කලක් ප්‍රමාද වූ පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහතික කිරීමේ තවත් උත්සාහයක් ලෙස මෙම නව ප්‍රයත්නය දරා ඇති බවයි.

මේ වන විට රජයේ මූල්‍ය තත්ත්වය යහපත් වී තිබීම සහ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇතැම් අධිකරණ තීන්දු ලබාදීමට නියමිතව තිබීම ද කොමිසම විසින් සැළකිල්ලට ගනු ලැබූ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

කිහිපවතාවක්ම කල්දැමුණු මැතිවරණ පැවැත්වීම සඳහා අරමුදල් ලබාගැනීම වෙනුවෙන්, මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත්කරන ලද සාමාජිකයන් විසින් දරනු ලබන පළමු ප්‍රධාන උත්සාහය මෙය වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් භාණ්ඩාගාරයට ලබාදී ඇති ලේඛනයට අනුව, මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය වන මුදල රුපියල් බිලියන 1.1කි.

ඒ මැතිවරණය කැඳවූ දින සිට පළමු දින 15 සඳහා රුපියල් මිලියන 100ක් ද ඊළඟ දින 15 සඳහා රු. මිලියන 500ක් සහ ඉන්පසු එළඹෙන දින 20 සඳහා මිලියන 500ක් වශයෙනි.

ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 400ක්, රජයේ මුද්‍රණාලයේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200ක් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 500ක් අවශ්‍ය වන බව ද මැතිවරණ කොමිසම දන්වා යවා තිබේ.

ඒ අනුව මැතිවරණය පැවැත්වෙන තෙක් අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 2.2ක් පමණක් බව ද කොමිසම ප්‍රකාශ කර ඇත.

ඉතිරි බිලියන 6.8 අවශ්‍ය වන්නේ මැතිවරණයෙන් පසුවය.

එම ඉතිරි මුදල ගෙවීමට කොමිසම විසින් මාස තුනක කාල රාමුවක් ලබාදී ඇති අතර, ඒ පළමු මාසයේ රුපියල් බිලියන 1.9ක්, දෙවන මාසයේ රුපියල් බිලියන 1.5ක් සහ තුන්වන මාසයේ රුපියල් බිලියන 1ක් වශයෙනි.

මීට අමතරව, මැතිවරණයෙන් පසු අනෙකුත් දෙපාර්තමේන්තු වෙත ගෙවිය යුතු ගාස්තු ද මතිවරණ කොමිසම සවිස්තරාත්මකව දක්වා තිබේ.

ඒ පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියනයක්, රජයේ මුද්‍රණාලයට රුපියල් මිලියන 300ක්, තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700ක් සහ සෙසු කටයුතු සඳහා මිලියන 400ක් වශයෙනි.

මෙම වසර මුලදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට සිදුව තිබුණේ අරමුදල් නොමැති බව භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම හේතුවෙනි.