July 14, 2023

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ පවුල්වලට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට අදාළ වගඋත්තරකරුවන් අපොහොසත්වීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිව හැකි බවත්, ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

හිටපු ජනාධිපති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඇතුළු වගඋත්තරකරුවන් වෙත අදාළ වන්දි මුදල් පසුගිය බදාදා (12) වන විට තැන්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි.

වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10ක සම්පූර්ණ වන්දි මුදල අදාළ ගිණුමට තැන්පත් කර තිබුණේ හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් පමණි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුවට අනුකූල විය යුතු බවත්, අදාළ තීන්දුවට අනුකූල නොවීම වින්දිතයන්ගේ මෙන්ම පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න සඳහන් කරයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔවුන්ට සිදු වූ ජීවිත හානිය සහ ඔවුන් විඳි මානසික කම්පනය මුදලින් තක්සේරු කළ නොහැකි නමුත්, වින්දිතයන්ට යම් ප්‍රමාණයකට මූල්‍යමය වශයෙන් වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතැයිද ඔහු පෙන්වාදෙයි.

අදාළ වන්දි මුදල් නිශ්චිත කාලයක් (මාස හයක්) ඇතුළත ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කර ඇතැයි සඳහන් කළ ඔහු, එම තීන්දුවට අනුකූල වීම අනිවාර්ය බව ද පවසයි.

මුදල් අයකර ගැනීම සඳහා අනුකූල නොවන්නේ නම් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අවනත නොවූ වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට සුදුසු අයදුම්පත් ඉදිරිපත් කරන බව ද සභාපතිවරයා සඳහන් කර ඇත.

සම්පූර්ණ වන්දි මුදල් නියමිත දිනට නොගෙවීම අධිකරණයට අපහාස කිරීමක්වේද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, එම වන්දිය අධිකරණයෙන් ගෙවීමට නියෝග කර එය නොගෙවන්නේ නම්, එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස තර්ක කිරීමට හැකියාවක් තිබෙන බවය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසට රුපියල් මිලියන 311ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබූ කාලසීමාව පසුගිය බදාදා (12) අවසන් වූ අතර, එදිනට අදාළ වන්දි අරමුදලට ලැබී ඇත්තේ රුපියල් මිලියන 34ක් පමණි.

එම මුදලට මෛත්‍රිපාල සිරිසේන විසින් ජුනි 28 දා තැන්පත් කළ රුපියල් මිලියන 15, ජූනි 20 දින පූජිත් ජයසුන්දර විසින් තැන්පත් කළ රුපියල් 1,725,588.87, නිලන්ත ජයවර්ධන විසින් අඟහරුවාදා (11) තැන්පත් කළ රුපියල් මිලියන 4.1, හේමසිරි ප්‍රනාන්දු විසින් ජුනි 09 සහ ජූලි 10 යන දිනවල තැන්පත් කළ රුපියල් මිලියන 02, සිසිර මෙන්ඩිස් විසින් ජූලි 6 සහ අඟහරුවාදා (11) තැන්පත් කරන ලද රුපියල් මිලියන 10 සහ රජය විසින් තැන්පත් කරන ලද රුපියල් මිලියනය ඇතුළත් වේ.

(The Morning)