January 13, 2025

වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියකුටම විද්‍යුත් හැඳුනුම්පත් නිකුත් කිරීම අරමුණු කරගත් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනයක් නිර්මාණය කිරීම සහ රජය සඳහා විද්‍යුත් ගෙවීම් දොරටුවක් හඳුන්වාදීම ද මේ යටතේ සිදුකිරීමට නියමිතය.

ඩිජිටල් ආර්ථික කටයුතු ඇමැති එරංග වීරරත්න පවසන්නේ රාජ්‍ය අංශය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇතිකිරීමේ න්‍යාය පත්‍රය යටතේ අමාත්‍යාංශය විසින් ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සහ GovPay ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි.

“පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලබන මාසයේ මැද භාගයේදී දියත් කරන්න නියමිතයි. මෙම ව්‍යාපෘතිය මගින් ජෛවමිතික දත්ත හරහා උප්පැන්න සහතික, බදු හඳුනාගැනීම් වැනි දත්ත ග්‍රහණය කර ගැනීමට අපට උපකාරී වනවා. සියලු ආකාරයේ හැඳුනුම්පත් මධ්‍යගත කිරීම සහ එක් එක් පුද්ගලයන් සඳහා තනි හැඳුනුමක් පවත්වා ගැනීම මෙහි අරමුණයි, ”යනුවෙන් ඔහු පැහැදිලි කරයි.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් ලැබෙන මොසිප් ප්‍රදානය විද්‍යුත් හැඳුනුම්පත හා සම්බන්ධ ඇතැම් වියදම් සඳහා සහනාධාරයක් බව ඇමැති වීරරත්න සඳහන් කරයි.

ඔහු සඳහන් කළේ GovPay ව්‍යාපෘතිය හරහා ඇතැම් රජයේ ආයතන, ඩිජිටල් ගෙවීම් සමඟ ඒකාබද්ධ කිරීම මෙම මාසය අවසානයේ ක්‍රියාත්මක වන බවය.

“අපි දැනටමත් රජයේ ආයතන 16ක් ඒකාබද්ධ කර තිබෙනවා අප්‍රේල් වන විට රජයේ ආයතන 30ක් ඒකාබද්ධ කිරීම සම්පූර්ණ කරන්න ඉන්නේ.”යනුවෙන් ඔහු පෙන්වා දෙයි.

අධිකරණ පද්ධති ගෙවීම්, මහ නගර සභා සඳහා ගෙවීම් සහ විශ්වවිද්‍යාල සඳහා ගෙවීම් ආදිය මෙම පද්ධතියට සම්බන්ධ අන්තර්ජාල බැංකු වේදිකා ඔස්සේ කළ හැකි බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

ආයෝජන සඳහා පරිත්‍යාගශීලී ආයතන කිහිපයක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු තවදුරටත් පැවසීය.

“ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ එවැනි අනෙකුත් පරිත්‍යාගශීලී ආයතන විවිධ ව්‍යාපෘති පිළිබඳ අප සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වූවා. ඔවුන් රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති සමඟ සම්බන්ධ වී ඉන්නේ ”යනුවෙන් ඔහු පෙන්වා දෙයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, දත්ත ආරක්ෂණ අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිසම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) යන ආයතන පහක් ඇත.

 

42.31%
17.27%
32.76%