January 17, 2025

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවි‌ශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින් මෑතක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයට කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශ) ගාමිණී බී. දිසානායක සදහන් කරයි.

බන්ධනාගාර රෝහල තුළ මෙම සිරකරු ප්‍රථිකාර ලබන වාට්ටුවේ රෝගී වූ රැඳවියන් සඳහා පොදුවේ ලබාදී ඇති පහසුකම්වලට අමතරව, ආර්.දුමින්ද සිල්වා නැමති සිරකරු හට පමණක් කිසිඳු ආකාරයේ අමතර පහසුකමක් ලබා දී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.

බන්ධනාගාරයට අනුව ඊට ආදළ කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඊයේ (16) ආර්. දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දෙශයන්ට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත ඇතුළත් කර තිබේ.

තවද, රෝගී වන සෑම රැඳවියෙකුම බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිදේශයන්ට අනුව එම රැඳවියා නේවාසික ප්‍රථිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරනු ලැබේ.

රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමුකිරීම වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදුකරන බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ පිළිබඳ බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති යටතේ 41 සිට 81 වගන්ති මගින් සඳහන් කර ඇත.

මේ වන විට අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

මෙම සිරකරු සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය නිවේදන නිකුත් කළ ද, යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික අරමුණු සඳහා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන අවස්ථා නිරීක්ෂණය වන බවයි බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%