October 18, 2024

ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයේ මහමොළකරු ලෙස කටයුතු කළ බව කියන හමාස් සංවිධානයේ ප්‍රධානී යාහ්යා සින්වාර් එම ප්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරයේදී අතුරුදන් විය.

ඉන් අනතුරුව වසරකට වැඩි කාලයක් ඊශ්‍රායල හමුදා විසින් ඔහුව සොයා ගාසා තීරය පුරා මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

61 හැවිරිදි යාහ්යා සින්වාර් ඔහුගේ ආරක්ෂකයන් පිරිසක් සමග එක්ව ඊශ්‍රායලයෙන් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් “මිනිස් පළිහක්” ලෙස තබාගනිමින් ගාසා තීරයේ උමං මාර්ගවල සැඟවී සිටි බව ඊශ්‍රායලය පැවසීය.

එහෙත් අවසානයේදී, දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සින්වාර් බවට සැකකෙරෙන පුද්ගකයෙකු අහඹු ලෙස හඳුනාගෙන තිබිණි.

ඊශ්‍රායල හමුදාව ඔහු පසුපස ගමන් කරන විට ඔහු සමග ආරක්ෂකයන් කිහිපදෙනෙකු පමණක් සිට ඇති අතර ඔවුන් සමග ප්‍රාණඇපකරුවන් නොසිටි බව වාර්තා විය.

සින්වාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වෙමින් ඇති අතර විදෙස් ජනමාධ්‍ය මෙලෙස වාර්තා කර ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන පරිදි ඔවුන්ගේ 828 වැනි බිස්ලමාච් බළකායේ ඒකකයක් ඉකුත් බදාදා ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆාහි ප්‍රදේශයක් වන තල් අල්-සුල්තාන් හි මුර සංචාරයේ යෙදී සිට තිබේ.

එහිදී ඊශ්‍රායල හමුදා විසින් සටන්කාමීන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුව ඔවුන් සියල්ලන්ම ඝාතනය කළ බව වාර්තා වේ.

ප්‍රහාර එල්ල කළ ද ඊශ්‍රායල සෙබළුන් ඊයේ උදෑසන වන තෙක් ප්‍රහාර එල්ල කරන ස්ථානයට ළඟාවී නොමැත.

පසුව එම ස්ථානයට පැමිණ මියගිය පුද්ගලයන්ගේ සිරුරු පරීක්‍ෂා කිරීමේදී එක් මළසිරුරක් හමාස් නායකයාට සමාන බව හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත්, මෘතශරීර වුව ද හමාස් සංවිධානයේ සැකසහිත මර උගුල් වීමට හැකි බැවින් ඊශ්‍රායල හමුදාව සැකකටයුතු සිරුරේ ඇඟිල්ලක කොටසක් ඉවත් කර පරීක්ෂණ සඳහා ඊශ්‍රායලයට යවා ඇත.

ඉන් අදාළ සිරුර හමාස් නායකයාගේ බවට තහවුරු වීමෙන් අනතුරුව එය පැවැති ස්ථානය ආරක්‍ෂිතව තිබූ බැවින් අවසානයේ ඔහුගේ සිරුර ඊයේ ඊශ්‍රායලයට ගෙනඑන ලදී.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක Daniel Hagari පැවසුවේ හමුදාව හමාස් නායකයා එහි සිටින බව නිශ්චිතව දැන නොසිටි නමුත් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වූ ගොඩනැගිලිවල එකින් එකට පැනයමින් සිටි සැකකරුවන් තිදෙනෙකු දැක ඔවුන් පළායෑමට පෙර ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

එහිදී සින්වාර් ලෙස හඳුනාගත් පුද්ගලයා තනිවම දිවගොස් සුන්බුන්ව පැවැති එක් ගොඩනැගිල්ලකට ඇතුළු වී තිබේ.

අනතුරුව ඊශ්‍රායල හමුදාව එම ගොඩනැගිල්ල තුළට ඩ්‍රෝන යානයක් යොමුකර ඔහු සිටි ස්ථානය හඳුනාගෙන ප්‍රහාර එල්ල කර ඇතැයි පැවසෙයි.

සින්වාර් ප්‍රාණඇපකරුවන් මිනිස් පළිහක් ලෙස භාවිත කරන බවට ඊශ්‍රායලය විශ්වාස කළ ද එම අවස්ථාවේ ඔහු සමග ප්‍රාණඇපකරුවන් කිසිවකු නොසිටි බව ද පැවැසේ.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ට් පසුව මෙලෙස පැවැසීය: “සින්වාර් මියගියේ පහරදීම්, හිංසා කිරීම් සහ පළායමින් සිටියදීයි. ඔහු අණදෙන නිලධාරියෙකු ලෙස නොව, තමා ගැන පමණක් සැළකිලිමත් වූ අයකු ලෙස මියගියේය. මෙය අපගේ සියලු සතුරන්ට පැහැදිලි පණිවිඩයකි.”

ඊයේ පස්වරුවේ ඊශ්‍රායල හමුදාව විසින් සින්වාර් ඝාතනය කිරීමට පෙර අවසන් මොහොත පෙන්නුම් කරන බව කියනු ලබන වීඩියෝ පටය නිකුත් කර තිබිණි.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි:

42.31%
17.27%
32.76%