August 8, 2023

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 12ක් මේ වන විට පානීය ජල හිඟයකට මුහුණ පා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම මේ වනවිට පවුල් 48,000ක් පමණ මෙම ගැටලුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පවසයි.

එම දිස්ත්‍රික්ක 12ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40ක විපතට පත් 156,000කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුයුක්ත ජල බවුසර් යොදා ගනිමින් පානීය ජලය බෙදා හැරීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.

මෙම ගැටලුවෙන් සතුන් ද පීඩාවට පත්ව ඇති බව සඳහන් කළ හෙතෙම පවසා ඇත්තේ, බවුසර් මඟින් ජලය ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි වගකිවයුතු ආයතන කටයුතු කරමින් සිටින බවයි.

පසුගිය සති දෙක තුළ පමණක් පානීය ජලය ලබාදීම සඳහා රජය රුපියල් ලක්ෂ 20ක් පමණ වැය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, ආපදාවට ලක්වූ සියලුම දිස්ත්‍රික්කවල රෝහල් වෙත පානීය ජලය බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.