42.31%
17.27%
32.76%
October 16, 2023

වත්මන් “දුෂ්ට පාලනය ලබන වසරේ අවසන් කරන බවට ඔබට සහතික වන” බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත් ඔස්සේ උත්සහ කරන්නේ, ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීමට බව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවැසුවේ, අද පෙරවරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා එහිදී මෙසේද පැවැසීය.

“ආණ්ඩුව සමාජය තුළ මතයක් තහවුරු කරමින් යනවා, ලබන වසරේ ඡන්දයක් එන්නේ නැහැ කියලා. තව අවුරුදු දෙකකට ඡන්දයක් නොඑන බව කියනවා. එවැනි මතයක් හදන්න උත්සාහ කරමින් යන්නේම ඒගොල්ලන්ට ඡන්ද නොමැති නිසාත් මැතිවරණයක් පැවැත්වුවහොත් එයාලා පරාජය වෙන බව දන්නා නිසයි. ඡන්දයක් නොමැති බව ප්‍රකාශ කරන්නේම පරාජයෙන් ගැලවීම සඳහා බව තහවුරුයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනමතයට, ජනමතය ප්‍රකාශයට පත්වීමට බයවෙලා තිබෙනවා. ඒ නිසා ජනමතය ප්‍රකාශයට පත්වීමට තිබෙන සියලු ක්‍රම වළක්වන්න, නවත්වන්න උත්සාහ කරමින් ඉන්නවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැතිව යන්නේ ඇයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් මේ මොහොතේ තිබෙන ජන මතය ප්‍රකාශයට පත්වෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කැමැත්තේ ප්‍රමාණය දැනගන්න හැකි වෙනවා. ජාතික ජන බලවේගයට අනිවාර්යයෙන් විශිෂ්ට බලයක් හිමිවෙනවා. රනිල් වික්‍රමසිංහලා පරදිනවා. ඒ නිසා පළාත් පාලන ඡන්දය නොපවත්වමින් යනවා. එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.

දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතක්. ඔන්ලයින් සිකියුරිටි පනත. මේ පනත ගේන්නෙත් ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීමටයි. අපේ රට තුළ පමණක් නොවෙයි මුළු ලෝකයේම ජන මතය සාම්ප්‍රදායික මාධ්‍යවලට සීමා නොවී සමාජ මාධ්‍ය මගින් සිදුවෙනවා. ඒක ආණ්ඩුවට පාලනය කර ගැනීමට අපහසුයි. ඒක තුළ ආණ්ඩුවට එරෙහි මත, ආණ්ඩුවේ ඇත්ත හෙළිදරව් කරන මත, විපක්ෂ මත පළවෙන්න පටන් ගෙන තිබෙනවා. පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ආණ්ඩුව වෙනුවෙන් හැකිතරම් බොරු කිවුවා. වඳ කතා, වඳ දොස්තර මාධ්‍ය තුළින් නිර්මාණය කළා. පසුව ඒවා බොරු බවත් හෙළිදරව් වුණා. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවෙත් නැහැ. ජනතාව අතර වෛරය පැතිරෙව්වෙත් ප්‍රධාන මාධ්‍ය. සමාජ මාධ්‍ය මගින් මේවා ප්‍රශ්න කරනකොට, ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනකොට ඒක ආණ්ඩුවට අවාසි වෙනකොට, සමාජ මාධ්‍ය වළක්වන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. මේ සමාජ මාධ්‍ය මගින් බොරු ප්‍රවෘත්ති පළ වෙනවා. වැරදි අදහස් සමාජගත වෙනවා තමයි. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ එය වළක්වන එක නොවෙයි. ඒක පිට දමා ආණ්ඩු විරෝධී මත වැළැක්වීමටයි උත්සාහ දරන්නේ.

පසුගිය කාලයේ වැටුප් ගෙවමින් ව්‍යාජ ගිණුම් විශාල ප්‍රමාණයක් හදලා, වැරදි මත සමාජගත කළේ ආණ්ඩුවේ කණ්ඩායම්. මහින්ද රාජපක්ෂලාගේ කණ්ඩායමක් මේ ව්‍යාජ ගිණුම් පාවිච්චි කර වැරදි මත සමාජගත කළා. දැනටත් කණ්ඩායමක් පඩි ලබමින් බොරු කියමින් යනවා. ඒගොල්ලෝ බයයි ඇත්ත මහජන මතය සමාජගත වෙනවා දකින්නට. ඒ නිසා ඔන්ලයින් සිකියුරිටි බිල් එක ගෙනැත් මහජන මත ප්‍රකාශකරන එක වැළැක්වීමට උත්සාහ ගන්නවා.

රනිල් රාජපක්ෂලා ව්‍යවස්ථා ගැටයක් ගහලා, ජනාධිපතිවරණය නොපවත්වා, මේ දූෂිත, ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන තව අවුරුදු දෙකක් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා නම්, එය කිසිසේත් සිදු නොවන්නක්. මේ පාර්ලිමේන්තුව අහෝසි විය යුතුයි. එසේ සිදුනොවී ගෙන එන ජනමත විචාරණයකට අපි උදව් කරන්නේ නැහැ. එසේ වුවහොත් එය දිනන්නේ නැහැ. ආණ්ඩුවට සිදුවෙනවා ජනමත විචාරණය පැරදිලා ජනාධිපතිවරණයකට යන්න. නැතිනම් ආණ්ඩුවට සිදුවෙනවා මහ මැතිවරණයකට යාමට. ආණ්ඩුවට තෝරාගැනීමට සිදුවෙන්නේ ක්‍රියාමාර්ග දෙකයි. එකක් ජනාධිපතිවරණය පැවැත්වීම, ජනාධිපතිවරණයක් නැත්නම් ලබන වසරේදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. එසේ නොවී මේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන යන ගමනකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. අපි ජනතාවට කියනවා, ලබන වසරේ ඡන්දයක් නැහැ කියලා ආණ්ඩුවේ ලොක්කෝ කියාගෙන යන මතයට රැවටෙන්න එපා. ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් එනවා. නියමිත ලෙස ජනාධිපතිවරණය එනවා. යම්කිසි ලෙසකින් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළ යුතුයි. ජනමත විචාරණය ජයග්‍රහණය කළ යුත්තේ මහ මැතිවරණයක් පැවැත්වීමේ කොන්දේසිය සහිත ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමෙන්. මහ මැතිවරණයකට යාමෙන් මහජනතාවට හැකියාව ලැබෙනවා තමන් කැමති ආණ්ඩුවක් හදාගන්න. ඒ ආණ්ඩුවට විධායක බලතල පැවරුණු ආණ්ඩුවක් හදාගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ ආණ්ඩුවට පුළුවන් රට වෙනස් කරමින් ඉස්සරහට යන්න.”

42.31%
17.27%
32.76%