September 14, 2024

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවක් බලයට පත්වේයැයි ඇතිව තිබෙන බොරු රැල්ලට බිය වී පසුගිය දින කිහිපයේදී ජනතාව රුපියල් බිලියන 4ක කැරලි කෝලහාල රක්ෂණ ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව මනුෂ නානායක්කාර පැවසීය.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා බෙන්තොට ප්‍රදේශයේ පැවති කුඩා කණ්ඩායම් ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මෙසේද කීවේය.

“දැන් එක පැත්තකින් කොටස් වෙළදපොළ දවසින් දවස කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොළේ ආයෝජනය කරලා තියෙන අය කොටස් වෙළදපොළෙන් සල්ලි ගන්නවා. බැංකුවල සල්ලි දාලා තියෙන අය බැංකුවලින් සල්ලි ගන්නවා. පුළුවන්කමක් තියෙන අයගේ දරුවෝ වෙනත් රටවලට යවනවා. එනවා කියන බොරු රැල්ලට බය වෙලා තමයි මෙහෙම වෙන්නේ.

බැදුම්කරවල මුදල් ආයෝජනය කරලා තියෙන අය ඒවා විකුණන්න හදනවා කියලා බ්ලූම්බර්ග් ආයතනය කියලා තියෙනවා. රක්ෂණ සමාගමකින් මට දැන් ටිකකට කලින් තොරතුරක් ලැබුණා. ඒ සමාගමේ අලුතින් බිලියන 4ක රක්ෂණ කරලා තියෙනවා. කැරලි කෝලහාල ඇතිවෙන්න පුළුවන් කියලා බයවෙලා කැරලි කෝලහල රක්ෂණ දාලා තියෙනවා.

බය වෙලා මෙහෙම කරන්නේ. ඒත් ඔය බොරු රැලිවලට බය වෙන්න එපා. 21 වැනිදාට හැදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. ඒක මතක තියාගන්න. මේ බොරු රැලිවලට බය වෙන්න එපා.”