June 19, 2024

කල්පිටිය අර්ධද්වීපයේ ජෛව විවිධත්වයට දායක වූ සහ එම ප්‍රදේශයට ආවේණික වූ බූරු ගහනය වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ අනවසරයෙන් ගස් කැපීම සහ කෘෂිකර්මාන්තය සඳහා කැලෑ එළිපෙහෙළි කිරීම හේතුවෙන් බූරුවන්ගේ ස්වාභාවික වාසස්ථාන අහිමි වී ඇති බවයි.

කඩොලාන සහ වැලි කඳු බූරුවාගේ අභිජනන භූමි වන නමුත් ඉස්සන් ගොවිපළ මගින් බූරුවන් එම වාසස්ථාන සහ අභිජනන ස්ථානවලින් පන්නා දැමුණු බව ඔවුහු පෙන්වා දුන්හ.

ව්‍යාපාරිකයකු වන එරඹුකුඩැල්ලේ රොෂාන් ප්‍රියලාල් සිල්වා පවසන්නේ කල්පිටියට ආවේණික සතකු වන බූරුවා ළඟදීම අතීතයට එක්වනු ඇති බවයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බූරුවන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවත් නිතරම පාරේ යන එම සතුන් වාහනවල මියයන බවත් ඔහු පෙන්වාදෙයි.

නොසැළකිලිමත් පුද්ගලයන් විසින් කරන ලද කුරිරුකම් ද බූරුවන්ගේ මරණයට හේතු වී තිබේ.

ඉස්සන් ගොවිපළ, ලුණු ලේවාය, අනවසරයෙන් කැලෑ එළි කිරීම ඇතුළු සංවර්ධන කටයුතු මේ තත්ත්වයට හේතු වී ඇති බවත් කල්පිටියේ බූරු ගහනයට තිබු දීර්ඝ ඉතිහාසය පුත්තලමේ සිට ලුණු ප්‍රවාහනය කිරීමට ඔවුන් යොදාගෙන තිබීමෙන් පෙනී යන බවත් රොෂාන් ප්‍රියලාල් සිල්වා පවසයි.

කල්පිටියට ආවේණික බූරු ගහනය ආරක්ෂා කර ගැනීමට වනජීවී බලධාරීන් සහ සත්ව ලෝලීන්ගේ සංවිධාන එකමුතු වී වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, කලපිටිය වනජීවී නියාමක උපාලි කුමාරතුංග පවසන්නේ බූරුවා වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ බර පැටවීමට යොදාගන්නා ගෘහාශ්‍රිත සතකු මිස වනජීවී රෙගුලාසිවලින් ආරක්ෂා වන වන සතකු නොවන බවයි.

42.31%
17.27%
32.76%