July 14, 2024

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වෙමින් සිටි පෙන්සිල්වේනියාවේ බට්ලර් හි රැස්වීමකදී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ මෙම සිදුවීම ඝාතන තැතක් විය හැකි බවටයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ නිලධාරීන් ට්‍රම්ප් වටකරගනිමින් ආරක්ෂිතව වේදිකාවෙන් ඉවතට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය රිපබ්ලිකන් ජාතික සමුළුව ආසන්නයේ සිදුවීම කැපී පෙනේ.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ආරක්ෂක සීමාවට පිටතින් සිට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

අමෙරිකානු රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෙඩික්කරු රැලිය පැවති ස්ථානයට පිටත උස් ස්ථානයක සිට වේදිකාව දෙසට වෙඩි තැබීම් කිහිපයක් සිදු කර ඇති බවයි.

වැඩිදුරටත් හෙළි වී ඇත්තේ ඔහු රැලිය පැවති ස්ථානයට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලක් මත වාඩි වී සිට AR පන්නයේ රයිෆලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ආරක්ෂක අංශ විසින් ඔහුට වෙඩි තැබීම හේතුවෙන් එම වෙඩික්කරු මියගිය බව ද රහස් ඔත්තු සේවය නිවේදනය කරයි.

රැලිය නැරඹීමට පැමිණි නරඹන්නකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ද රහස් ඔත්තු සේවය නිවේදනය කළේය.

ට්‍රම්ප් වේදිකාවෙන් පිටතට ගෙන යද්දී ඔහුගේ දකුණු කණේ ලේ පෙනෙන්නට තිබූ අතර, ඔහු ‘සටන් කරමු’ යනුවෙන් ප්‍රකාශ කරමින් වේදිකාවෙන් බැස යන ආකාරය දක්නට ලැබිණි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබුණේ, ට්‍රුම්ප් හොඳින් සිටින අතර ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකින් පරීක්ෂාවට ලක් කෙරුණු බවයි.

මෙම නින්දිත ක්‍රියාව අතරතුර කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට එක්වූ සැමට ට්‍රම්ප් ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් පැය කිහිපයකට පසු Truth Social හි පළ කරන ලද ප්‍රකාශයක ට්‍රම්ප් කියා සිටියේ තම දකුණු කනේ ඉහළ කොටස වෙඩි තැබීමෙන් සිදුරු වී ඇති බවයි.

සිද්ධියේ දී ඝාතනයට ලක් වූ රැලිය නැරඹීමට පැමිණි සාමාජිකයාගේ පවුලේ අයට ඔහු ශෝකය ද පළකර තිබිණි.

“අපේ රටේ මෙවැනි ක්‍රියාවක් සිදුවීම ඇදහිය නොහැකි තරම්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ “මෙවැනි ප්‍රචණ්ඩත්වයකට අමෙරිකාව තුළ ඉඩක් දිය නොහැකියි” යනුවෙනි.

“මෙහෙම වෙන්න දෙන්න බෑ. අපිට මේක අනුමත කරන්න බෑ.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

උප ජනාධිපතිනි කමලා හැරිස් පැවසුවේ ට්‍රුම්ප්ට බරපතළ තුවාල සිදුවී නොමැති බව දැනගැනීමට ලැබීම තමාට සහනයක් වූ බවයි.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට රට තුළ ඉඩක් නැතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ට්‍රුම්ප්ගේ පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, ABC ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ තම පියා යහපත් මානසික තත්ත්වයක සිටින අතර තම පියා මෙවැනි සිද්ධි හේතුවෙන් කිසිදිනක නතර කළ නොහැකි බවයි.

42.31%
17.27%
32.76%