December 9, 2024

විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් 31 වැනිදාට පෙර නිකුත් නොකළහොත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් 1000කට අධික සංඛ්‍යාවක් අහිමි වීමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

වෛද්‍ය විශේෂඥයන්, ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්, ලියාපදිංචි වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 සිට 60 දක්වා අඩු කිරීමට හිටපු රජය ගත් තීරණයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු ගොනු කළ පෙත්සමේ විභාගය අවසන් කරමින් අභියාචනාධිකරණය 2023 දෙසැම්බර් මාසයේදී තීන්දු කළේ ඔවුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙස පැවතිය යුතු බවටයි.

ඉන් අනතුරුව ඔවුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63ක් බවට පත්කිරීමට ඇමැති මණ්ඩලය ද අනුමැතිය ලබාදුන් නමුත් ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ අදාළ අභියාචනාධිකරණ තීන්දුව වසරකට පෙර නිකුත් කර ඇතත් ඒ පිළිබඳ ගැසට් නිවේදනය තවමත් නිකුත් කර නොමැති බවයි.

අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදාය.

ඊට ඇමැති මණ්ඩල අනුමැතියද හිමි විය.

එය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය.

අමාත්‍යාංශය විසින් එය නීතිපති දෙපාර්තමේන්තුවට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

එහෙත් එය තවමත් සිදුව නොමැති බව වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

දෙසැම්බර් 31 වැනිදාට පෙර අදාළ ගැසට් පත්‍රය නිකුත් නොකළහොත් විශේෂඥ වෛද්‍යවරුන් 250ක්, ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් 400ක්, ලියාපදිංචි වෛද්‍යවරුන් 300ක් ඇතුළු 1000කට අධික වෛද්‍යවරු සංඛ්‍යාවක් සහ දන්ත වෛද්‍යවරුන් සැළකිව යුතු පිරිසක් විශ්‍රාම යන බව ද ඔහු සඳහන් කරයි.

“අපි පසුගියදා අගමැති වෛද්‍ය හරිනි අමරසූරිය සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ කළ සාකච්ඡාවලදී මේ ගැටලුව පිළිබඳ ඔවුන් දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ ගැන සොයා බලනවා කිව්වාට එහෙම වෙන බවක් පේන්නේ නැහැ. එහෙම නොකළොත් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම කඩා වැටෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

42.31%
17.27%
32.76%