42.31%
17.27%
32.76%
September 27, 2024

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිට වීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයන්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට දැනුම්දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරිය මේ බව සඳහන් කර ඇත.

මෙහිදී අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දී ඇත්තේ පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවයි.

නව රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට තීරණය කර තිබෙන බව ද ඇය සඳහන් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බවත් විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රතිඵල ලබාදීම කඩිනම් කළ යුතු බවත් අගමැතිවරිය නිලධාරීන්ට දන්වා තිබේ.

පාසල් දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන් ක්‍රමවත් කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ක්‍රමවත් සහ පිළිගත් ක්‍රමවේදයකට විනිවිදභාවයෙන් සිදු විය යුතු බවත්, මහජන නියෝජිතයන් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙසත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කර ඇත.

ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදු විය යුතු අතර ජනතාව තුළ විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කළ යුතු බව ද ඇය සඳහන් කර තිබේ.

පාසල්වලින් වාර්තා වන මානසික සෞඛ්‍ය හා මානසික අසහන පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දී ඇත.

මෙම සාකච්ඡාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශ ප්‍රධානීන් සහභාගී වී තිබිණි.

42.31%
17.27%
32.76%