July 2, 2024

ඔක්තෝබර් මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඒ සඳහා මැතිවරණ කොමිසමේ සූදානම පිළිබඳ බොහෝ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.

ඡන්ද විමසීමක් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් සහ මැතිවරණයට අවශ්‍ය වාහන පිළිබඳ ගණනය කිරීම් සහ ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු රැස් කිරීම ඇතුළු මූලික කාර්යයන් ආරම්භ කර ඇත.

“මැතිවරණයකදී රට පුරා රාජ්‍ය නිලධාරීන් සහ වාහන යොදා ගන්නවා. දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මේ පිළිබඳ සංගණන පවත්වා අයැදුම්පත් කැඳවිය යුතුයි. මෙම සමීක්ෂණ හා අයදුම්පත් කැඳවීමේ කටයුතු ආරම්භ කරන ලෙස අපි ඔවුන්ට උපදෙස් දී තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අදාළ තොරතුරු ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගන්නා ලෙසත් අපි ඔවුන්ට උපදෙස් දී තිබෙනවා, ඒ අනුව නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් මෙම කටයුතු ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසා තිබේ.

මැතිවරණයකට සූදානම් වන ලෙස දන්වා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට එම කොමිසම පසුගිය සතියේ ලිපියක් ද යවා තිබිණි.

ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර දිනයක පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරණය කල් දමා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය දීර්ඝ කිරීමේ උත්සාහයක් පවතින බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ.

කෙසේවෙතත්, ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පවත්වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

 

42.31%
17.27%
32.76%