August 28, 2024

සිංගප්පූරු ජාතිකයකු විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් නිෂ්පාදනාගාරයක් බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් කඩවත ප්‍රදේශයේදී අද (28) වටළා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කඩවත මහර ප්‍රදේශයේ නිවසක සැළකිව යුතු කාලයක් පවත්වාගෙන ගොස් ඇති මෙම ස්කාගාරය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශයට ලද බුද්ධි තොරතුරක් ඔස්සේ තොරතුරු හෙළිදරව් වී තිබේ.

මෙම තොරතුරු මත ක්‍රියාත්මක වූ බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කඩිනමින් එම පරිශ්‍රය වටළා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ ද්‍රව්‍ය රාජසන්තක කර තිබේ.

මෙම මෙහෙයුමේදී ව්‍යාජ විදේශීය විස්කි බෝතල් 54ක්, බෝතල් සීල් තබන යන්ත්‍ර දෙකක්, ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් ද්‍රව්‍ය සහ උපකරණ විශාල ප්‍රමාණයක් බලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර, වැඩිදුර විමර්ශන බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිදුකරන බව පොලිසිය පවසයි.