February 18, 2024

සාර්ථක මෙහෙයුම් සඳහා ත්‍යාග පිරිනැමීම වෙනුවෙන් පවත්වාගෙන යන අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර මතභේදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශයේ බලපෑම්වලට එරෙහිව යමින් රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ අරමුදලේ පාලනය ශ්‍රී ලංකා රේගුව වෙත පැවතිය යුතු බවයි.

කාර්ය මණ්ඩලයට ත්‍යාග ගෙවීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයට මාරු කර, ත්‍යාග ගෙවීම සඳහා අනුමැතිය බලාපොරොත්තුවෙන් රැඳී සිටීමේදී ප්‍රමාදයන් සිදුවන බව රේගු නිලධාරීන් අවධාරණය කර තිබේ.

මීට පෙර පැවති ක්‍රමය යටතේ පළමුව ආදායම භාණ්ඩාගාරයට යවා, ත්‍යාග ගෙවීමට රේගුව විසින් මුදල් සුරක්ෂිත කළ යුතුව තිබූ ක්‍රමය යටතේ වසර දෙකක පමණ ප්‍රමාදයක් සිදුවූ බව රේගු උසස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ප්‍රමාදය හේතුවෙන් ත්‍යාග ගෙවීම සඳහා එම මුදලින් කොටසක් රඳවා ගැනීමට රේගුවට අවසර ලබා දී තිබූ බව ඔහු පෙන්වාදී තිබේ.

කෙසේවෙතත්, නව ක්‍රමවේදයක් යටතේ, භාණ්ඩාගාරය විසින් රේගුවෙන් ඉල්ලා ඇත්තේ එම මුදල් මහා භාණ්ඩාගාරයට පැවරිය යුතු අතර, ත්‍යාග ගෙවීමට අවශ්‍ය වූ සෑම අවස්ථාවකම එම ගෙවීම් කඩිනමින් සිදුකරන බවයි.

රුපියල් මිලියන 800කට වැඩි මුදලක් රේගුව විසින් රඳවාගෙන සිටින බවත්, එම මුදල් රඳවා තබා ගැනීම වෙනුවට, ලැබෙන පොලියෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා රේගුව එම මුදල් මහා භාණ්ඩාගාරයට පැවරිය යුතු බවත් භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබේ.

රේගුවට ත්‍යාග ගෙවීමට අවශ්‍ය නම් රුපියල් මිලියන 100ක පමණ තැන්පතුවක් තබා ගැනීමට භාණ්ඩාගාරයට ඉඩ ලබාදිය හැකි බවත් අමතර අරමුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවත් ඔහු පෙන්වාදී ඇත.

මේ අතර,ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් මුදල් අමාත්‍යංශයේ සිට උසස් තනතුරු සඳහා රේගුව වෙත අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ද රේගුව විරෝධතා මතු කර තිබේ.

කෙසේවෙතත්, ඉකුත් සතියේ රේගු නිලධාරීන් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු මුදල් අමාත්‍යංශයට ආපසු හරවා යවන ලදී.

එමෙන්ම තවත් නිලධාරීන් 15 දෙනකුගේ සේවා කාලය වසර තුනක කාලයකට සීමා කිරීමට ද තීරණය කර ඇත.

පැමිණීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ද රේගු නිලධාරීන් විරෝධතා මතුකර තිබේ.

එම තීරණය නැවත සළකාබලා ගැටලුව මඟහරවා ගැනීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට භාණ්ඩාගාරය එකඟ වී ඇත.

42.31%
17.27%
32.76%