October 16, 2024

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ගංවතුර ඇති වන බැවින්, දූෂිත ජලය හරහා පැතිර යන ජලයෙන් බෝවන රෝගවල වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

‘ඩේලි මිරර්’ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා ඇත්තේ, ගංවතුර තත්ත්වයත් සමඟ ඩෙංගු, ලෙප්ටොස්පයිරෝසිස්, හෙපටයිටිස් ඒ, ටයිපොයිඩ්, පාචනය වැනි ජලයෙන් බෝවන රෝග පැතිර යා හැකි බවයි.

වර්ෂා සමය ආරම්භ වීම නිසා ඩෙංගු උණ තත්වයද බරපතල ලෙස වැඩිවීමේ අවදානම නිර්මාණය කර ඇත.

තවද, මී උණ ලෙස පොදුවේ හැඳින්වෙන ලෙප්ටොස්පයිරෝසිස් තවත් දැඩි අවදානමක් නිර්මාණය කර තිබේ.

“ගංවතුර ඇති ප්‍රදේශ අපවිත්‍ර විය හැක. ආසාදිත සතුන්ගේ මුත්‍රා, ලෙප්ටොස්පයිරෝසිස් ව්‍යාප්තියට හේතුවෙනවා” යැයි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සන්ද්දහන් කරයි.

“එමනිසා, ජලයෙන් යටවී ඇති තත්වයන් යටතේ වැඩකරන පුද්ගලයන් ආරක්ෂිත ඇඳුම් ඇඳිය ​​යුතු අතර උණ, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි” යනුවෙන් ඔහු උපදෙස් දෙයි.

එපමණක් නොව, දූෂිත ජල මූලාශ්‍ර හේතුවෙන් මෝසම් සමයේදී පාචන රෝග ඇතිවීමේ ප්‍රවණතාව ද වැඩිවන බව ඔහු සඳහන් කරයි.

මෙම රෝගවල බලපෑම ක්ෂණිකව සිදු නොවූවත්, ගංවතුර බැසයෑමත් සමඟ ඉදිරි සති දෙක තුළ ඒවා මතු වීමට පටන්ගනු ඇත.

එබැවින්, මෙම රෝග වළක්වා ගැනීමට ජනතාව පූර්වාරක්ෂාව ගැනීම අත්‍යවශ්‍ය වන බව ඔහු අවධාරණය කරයි.

42.31%
17.27%
32.76%