September 24, 2023

විදේශීය යුද නෞකා, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රාවලට රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සඳහා සංශෝධිත සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP) මෙම සතියේ පැවැත්වෙන ජාතික ආරක්ෂක කවුන්සිල (NSC) රැස්වීමේදී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ.

නව ක්‍රියා පටිපාටිය සඳහා ජූලි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබී තිබුණද, කෙටුම්පතට කරන ලද සංශෝධන හේතුවෙන් එය මෙතෙක් එළිදක්වා නැත.

ඉන්දීය ජනමාධ්‍යය විසින් ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හඳුන්වා ඇති, ශ්‍රී ලංකාවේ නිසි අවසරයකින් තොරව මෙරටට පැමිණෙමින් තිබෙන ෂී යැන් 6 නෞකාව, මෙරට මුහුදේ ඒකාබද්ධ සමීක්ෂණයක් සිදුකිරීමට සූදානම් බව චීනය සඳහන් කිරීමෙන් පසුව SOP පිළිබඳ සැලකිල්ල වර්ධනය වී තිබේ.

ෂී යැන් 6 වෙත තවමත් රාජ්‍ය තාන්ත්‍රික අවසරයක් ලබා දී නොතිබුණද එම නෞකාව ඉන්දියන් සාගරයේ දින 80ක ගවේෂණ ආරම්භ කර, ඉන්දියානු සාගරය දෙසට ගමන් කරමින් සිටි බව පසුගියදා වාර්තා සඳහන් කර ඇත.

මේ අතර, අන්තර්ජාතික සාමය සඳහා වන Carnegie Endowment ආයතනය විසින් සංවිධානය කරන ලද තුන්වන වාර්ෂික දූපත් සංවාදයේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව SOP කෙටුම්පත පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා කළ බවයි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කර තිබේ.

“ස්ථාවර මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සකස් කර ඇත.

මෑතකදී අපි ඉන්දියාව සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර අපි දැන් ඔවුන්ගේ සියලු සංශෝධන ගෙන තිබේ. එබැවින් දැන් පැමිණෙන ඕනෑම නෞකාවක් ඉන්දියාව සමඟ එක්ව මෙහෙයුම් ක්‍රියා පටිපාටියකට අනුව කටයුතු කරනවා. ඒ නිසා ඒ මෙහෙයුම් ක්‍රියාවලිය යටතේ තර්ජනයක් වන කිසිම නෞකාවක් එනවා මට පේන්නේ නැහැ,”

පසුගිය වසරේ මෙරටට පැමිණි ආන්දෝලනාත්මක ඔත්තු බැලීමේ නෞකාවක් වන යුවාන්ග් වැන්ග් 5(Yuan Wang 5) හි මතභේදාත්මක සංචාරයෙන් පසු ඉන්දියාව, එක්සත් ජනපදය සහ වෙනත් අය විසින් මතු කරන ලද උත්සුකයන් මත මෙරට රජය විසින් 2016 දී ක්‍රියාත්මක වූ දැනට පවතින SOP සමාලෝචනය කර තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ ඇතිකරගත් ගිවිසුම් මත චීන සමුද්‍ර පර්යේෂණ නෞකා පසුගිය දශකය තුළ ශ්‍රී ලංකා සමඟ සම්බන්ධ වී ඒකාබද්ධ සමීක්ෂණ සිදු කර ඇති බව ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ Carnegie සංසදයේදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව නෝර්වීජියානු, ජපන් සහ ඉන්දියානු ආයතන සමඟ ඒකාබද්ධ සමුද්‍ර සමීක්ෂණ කිහිපයක් ද සිදුකර තිබේ.