42.31%
17.27%
32.76%
September 27, 2023

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඇඳුම්වල තැවරී තිබුණු වමන සාම්පලයේ කිසිදු ආකාරයකට සයනයිඩ් තිබූ බවට රස පරීක්ෂක වාර්තාවේ කිසිදු සටහනක් නැති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ සඳහන් කළේය.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුකරය පෙරේදා (25) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව සඳහන් කළේය.

අධිකරණ වෛද්‍ය රැල්හක් විසින් මෙම මරණය සයනයිඩ් විෂ වර්ගය ශරීරගත වීමෙන් සිදුවූවක් බවට සඳහන් කර තිබුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, මරණකරුගේ ඇඳුම් පැළඳුම් පරීක්ෂා කිරීමේදී මෙවැනි සයනයිඩ් කිසිදු වර්ගයක් හමු නොවුණු බවට රස පරීක්ෂකවරයා සඳහන් කරන කරුණ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කර ගත්තාද? නැත්තම් ඝාතනය කළා ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද ෂාෆ්ටර්ගේ ශරීරය පුරා තුවාල තිබූ අතර, ඒවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී රැල්හක් විසින් සැළකිල්ලක් නොදක්වා ඇති බවට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් කාරණා ඔස්සේද, ෂාෆ්ටර්ගේ මානසික තත්ත්වය නිරූපණය නොවන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ පැවසුවේය.

මෙබඳු කරුණු සම්බන්ධයෙන්ද විද්වත් මණ්ඩලයට අවධානය යොමුකරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ සැලකර සිටි සියලු කරුණු සම්බන්ධයෙන් විද්වත් කමිටුව මීට පෙර දැනුවත් කර ඇති බැවින් නියෝග අනවශ්‍ය බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, ඉල්ලීම පමණක් සටහන් කර තබන බව පැවසුවාය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පැවැත්වූ සියලු විමර්ශන අවසන් බවට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය දැනුම් දී ඇති බැවින්, ෂාෆ්ටර්ගේ මෘත දේහය ඔහුගේ සහෝදරයන් වෙත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විද්වත් මණ්ඩලය වෙත නියෝග කළාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සියදිවි හානි කර ගත්තා ද? නැත්තම් ඝාතනය කළා ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ගාල්ල කරාපිටිය රෝහලේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ කටයුතු අවසන් කර ඇති බවත් මරණය සම්බන්ධ අවසන් නිගමනයක් නුදුරු දිනයකම ලබාදෙනු ඇති බවත් මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පැවසුවාය.

ෂාෆ්ටර් ගේ මෘත දේහය මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන්පුර යන අයගේ මූලිකත්වයෙන් ෂාෆ්ටර්ගේ සහෝදරයා හා මස්සිනා වෙත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

(දිනමිණ)

42.31%
17.27%
32.76%