February 18, 2024

රතු, රෝස පක්ෂවල දේශපාලන අවශ්‍යතාව මත මිනිස්සුන්ට නිවන් සුව පතන සමාජ මාධ්‍ය සංස්කෘතිය අවසන් කළ යුතුව ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවැසීය.

ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට තම පක්ෂය සූදානම් බවද හෙතෙම අවධාරණය කළේය.

මව්බිම ජනතා පක්ෂයේ නායකයා මේ බව සඳහන් කරන ලද්දේ, ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර එහිදී මෙසේද පැවැසීය.

“මම දේශපාලනයට එන්න හිටි පුද්ගලයෙක් නෙමෙයි. නමුත් අපි විවිධ පුද්ගලයින්ට දේශපාලන ප්‍රවාහයන් විශ්වාස කරමින් සහයෝගය ලබා දුන්නා. අකමැත්තෙන් පය ගැහුවත් ඉතාම කැමැත්තෙන් මම දැන් මේ ගමන ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යන්නවා. අපි මීට පෙර කාට සහය දැක්වුවත් ඒ විශ්වාසයක් මත පදනම්වයි ඒ දේ කලේ. ඒ වෙන කිසිවක් නොවෙයි. මේ ආදරණීය ශ්‍රී ලංකාව කවද හරි දවසක ගොඩනගා ගෙන දියුණු රටක් බවට පත් කර ගන්නට හැකිවේවි යන විශ්වාසය.

අපිට වැරදුණු ප්‍රධානම තැන අපි හැමදාම ආණ්ඩු ගෙනාවේ තවත් ආණ්ඩුවක් පෙරලන්න. එහෙම නැත්නම් තවත් ආණ්ඩුවක වැරදි කියාගෙන. නමුත් අපි එන්නේ රටත් ඔබත් ඉදිරියට ගෙනයන ජීවිතය නගා සිටුවන ලෝකයේ සියලුම දියුණු රටවල් භාවිතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයත් එක්ක. මේ රටට නැවත එක තැන පල්වෙන රටක් නොවෙයි. වඩා වේගවත්ව ඔබේ ජීවිතය දියුණුව කරා ගෙන යන විද්‍යාත්මක හා ප්‍රයෝගික වැඩ පිළිවෙලක් එය.

රතුපාට, රෝස පාට ඔය මොන පාටින් ආවත් වෛරයනම් වපුරන්නේ මේ රට යන්නේ ආපස්සට. අපි කියන්න කැමතියි වෛරය වපුරන සියලු දෙනාටම අපි ආදරණිය පක්ෂයක්. අපි හෘදයාංගම පක්ෂයක්. තවදුරටත් වෛරය මත පදනම්ව දේශපාලනය කරලා මේ රට විනාශ කරන්න එපා. අපි සුදානම ඔබේ වෛරයට ආදරයෙන් පිළිතුරු දෙන්න. මේ රටේ මව්බිම ජනතා පක්ෂය හැර සියලුම අනෙකුත් පක්ෂ මේ රටේ අහිංසක ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ පක්ෂ, ඔවුන් ඔබේ කඳුළු සතපහකට ගණන් නොගත් පක්ෂ, ඒ නිසයි ඔවුන් ඔබ වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි තැන සිට නොගන්නේ.”

42.31%
17.27%
32.76%