December 22, 2024

මහජනතාවට රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නය යටතේ මෙරටට ආධාර කිරීම සඳහා අනන්‍ය ඩිජිටල් හැඳුනුම් පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට නියමිතය.

ඒ සඳහා ලබන මාසයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදේශ ඇමැති විජිත හේරත් සඳහන් කර තිබේ.

පසුගිය සතියේ සිදුකළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී, ඉන්දියාව විසින් සිදු කරන ලද සාර්ථක ජනතා කේන්ද්‍රීය ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳ සොයා බැලීමට රජය දක්වන උනන්දුව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන්ට පූර්ණ සහය දැක්වීමට ඉන්දියාවේ සූදානම ප්‍රකාශ කළ අතර ඩිජිටල් හැඳුනුම් පත්ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත.

අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සහ අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා පහසු ප්‍රවේශය ඇතුළු රජයේ සේවාවන් ලබාගැනීමට ඩිජිටල් හැඳුනුම් පත් ජනතාවට සහාය වන බව ඇමැති හේරත් පැවසීය.

“මෙම ක්‍රමය මඟින් අතරමැදියන්ගේ අවශ්‍යතාව නැති වේවි, ප්‍රතිලාභීන් වෙත සෘජුවම මුදල් යැවිය හැකි අතර දූෂණය අඩු වෙයි. එය මිලියන සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ ලබා දී ඇති ඉන්දියාවේ ආධාර් කාඩ්පතට සමාන වේවි, ”යනුවෙන් ඔහු පැවසීය.

ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ඉතා සාර්ථක ඩිජිටල්කරණය ලොව පුරා ප්‍රශංසාවට ලක්ව ඇති බව ඔහු පැවසීය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඉන්දීය රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නියෝජිතයන් පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නව රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කරන ලද පළමු ඉන්දීය ආයෝජන ව්‍යාපෘතිය එයයි.

මෙම ව්‍යාපෘතියට අමතරව, දෙරට විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI)ද දියත් කරනු ඇති අතර අත්දැකීම් සහ ඉන්දියාවේ දැනටමත් පිහිටුවා ඇති පද්ධතිය මත පදනම්ව පොදු යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම ගවේෂණය කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවනු ඇත.

රටවල් දෙකෙහිම නියාමන මාර්ගෝපදේශයන්ට අනුකූලව, දෙරටේම ප්‍රයෝජනය සඳහා UPI (United Payment Interface) ඩිජිටල් ගෙවීම් භාවිතය දීර්ඝ කිරීම මගින් දෙරට ඩිජිටල් මූල්‍ය ගනුදෙනු ප්‍රවර්ධනය කරනු ඇත.

42.31%
17.27%
32.76%