February 11, 2024

ඉන්දීය අරමුදල් සහිත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ තොරතුරු තාක්ෂණ පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා සැපයුම්කරුවකු තෝරා ගැනීමට ඉන්දියාවට ඉඩ ලබාදීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ ඊට අදාළව ඉදිරිපත් වූ ලංසුකරුවන් දෙදෙනා මේ වනවිට ඊට නුසුදුසු තත්ත්වයේ පසු වීමයි.

පද්ධතිය සඳහා සේවා සපයන්නකු තෝරා ගැනීමට රජය පසුගිය වසරේ ටෙන්ඩර් නිකුත් කළද, එම ටෙන්ඩරයේ ඉදිරිපත් වූ ඉන්දීය ලංසුකරුවන් දෙදෙනා මෙලෙස නුසුදුස්සන් වී තිබේ.

මූලික නිර්ණායකවලට අනුකූලව කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් නුසුදුස්සන් වී ඇති බව දැනගන්නට ඇත.

උදාහරණයක් ලෙස, අදාළ ලංසුකරු මීට පෙරද එවැනිම ව්‍යාපෘතියක නිරත වී තිබිය යුතුය යනුවෙන් කොන්දේසියක් ඇතුළත් කර තිබිණි.

පසුගිය වසරේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ඒකීය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුළු අරමුදල්වලින් 15% ක් එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක් ලබා දී තිබේ.

අවබෝධතා ගිවිසුමට අනුව ඒ වෙනුවන් ගනු ලබන සැපයුම්කරු ඉන්දියානු සමාගමක් විය යුතුය.

මුල් ලංසුකරුවන් නුසුදුස්සන් වීමෙන් පසු, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ඇගයීම් කමිටුවේ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සැපයුම්කරු තේරීම සඳහා ඉන්දියාවට අවසර දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පැවසුවේ මේ අනුව සැපයුම්කරු ඉන්දීය රජය විසින් තෝරා ගනු ඇති බවයි.

“අපි මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රචාරය කිරීමට කැබිනට් අනුමැතිය අවශ්‍යයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරත් සරල කර තිබෙන්නේ, අපි එය ටෙන්ඩර් කරනවා. ඉන්දීය සමාගම්වලට අත්දැකීම් තිබෙනවා, අවබෝධතා ගිවිසුමේ සඳහන් වන්නේ ඉන්දීය සමාගම් මේ සඳහා වේදිකාව සෑදිය යුතු බවයි” රාජ්‍ය ඇමැති හේරත් පැවසීය.

මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගිය සමයේ උත්සාහයන් කිහිපයක්ම සිදු විය.

2015 දී, වසර දෙකක් ඇතුළත සියලුම සුදුසුකම් ලත් පුරවැසියන් සඳහා නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර, 2017 අගභාගයේදී ‘ස්මාර්ට් හැඳුනුම්පත’ එළිදැක්වීම සඳහා අතුරු විසඳුමක් යෝජනා විය.

2011 දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය ද එවැනිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේය.

ඉන්දියාව ද සිය පුරවැසියන් සඳහා තමන්ගේම ‘ආධාර්’ කාඩ්පත හඳුන්වා දුන් අතර එහිදී ජෛවමිතික දත්ත ඩිජිටල් හැඳුනුම්පතකට අමුණා තිබේ.

එය දැනට ලෝකයේ ඇති විශාලතම ජෛවමිතික දත්ත ගබඩාව ලෙස සැළකේ.

ආසන්න වශයෙන් පුරවැසියන් බිලියන 1.1කගේ තොරතුරු ඊට ඇතුළත්ය.

කෙසේවෙතත්,ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ සහ රජයේ නිරීක්ෂණ පිළිබඳ චෝදනා මතු කර ඇත.