December 20, 2023

ශ්‍රී ලංකාව තුළ ‘ඩයස්පෝරාව’ යන යෙදුම හා සම්බන්ධ ඍණාත්මක අවබෝධය ඉවත්කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

ඩයස්පෝරාවේ කොටස්කරුවකු වීමෙන් කෙනකු අන්තවාදියකු හෝ ශ්‍රී ලංකා විරෝධියකු බවට පත්නොවන බවත් ජාති ආගම් භේදයකින් තොරව වෙනත් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයකු ඩයස්පෝරාවේ කොටසක් බවත් ඔහු අවධාරණය කරයි..

කෙසේවෙතත් රට සහ එහි ජනතාව අතර, විශේෂයෙන් විදේශගතව සිටින අය අතර දුරස්ථභාවයක් ඇති කළ ඓතිහාසික සිදුවීම් පැවැති බව සාගල රත්නායක පවසයි.

රට සංවර්ධනයට දායකවීමට කැමති නමුත් ඩයස්පෝරාවේ සිටින අය මුහුණ දෙන නිලධාරිවාදී බාධාවන් පිළිබඳ අභියෝග පිළිබඳවද ඔහු සඳහන් කරයි.

සාගල රත්නායක මෙම අදහස් පළකළේ, ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවැති අන්තර්ජාතික සංක්‍රමණික දින උත්සවය අමතමිනි.

ඩයස්පෝරාව සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ ප්‍රතිලාභ සහ ආයෝජන දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ඔහු එහිදී අවධාරණය කළේය.

රත්නායක විසින් එතෙර ශ්‍රී ලංකා කටයුතු පිළිබඳ කාර්යාලය සඳහා https://oosla.lk/ නිල වෙබ් අඩවිය ද විවෘත කළේය.

ඔහු මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ, එතෙර ශ්‍රී ලංකා කටයුතු පිළිබඳ කාර්යාලය පිහිටුවීම ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ සමපාත වන බවයි.

විනිවිදභාවයේ අවශ්‍යතාව අවධාරණය කරන අතරම, ශ්‍රී ලංකාව ආයෝජන අවස්ථා සඳහා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම සඳහා සම මට්ටමේඅවස්ථා ලබාදීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

ඔහුට අනුව එතෙර ශ්‍රී ලංකා කටයුතු පිළිබඳ කාර්යාලය පිටුපස ඇති සංකල්පය වූයේ සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වන පුළුල් කාර්යාලයක් නිර්මාණය කිරීමයි.

ද්විත්ව පුරවැසිභාවය, විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම සහ ඔවුන්ගේ සබඳතා පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ගැටලු සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහායවීම සහ රටේ සංවර්ධනයට දායකවීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන් එක්කර ගැනීම මෙහි අරමුණ වේ.

42.31%
17.27%
32.76%