August 13, 2024

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ අනුග්‍රහය ලබන ඩ්‍රෝන් තාක්‍ෂණ සමාගමක් වන ගරුඩා ඒරෝස්පේස්(Garuda Aerospace) ශ්‍රී ලංකා වෙළඳපොළට ප්‍රවේශ වීම සම්බන්ධ නිල නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

එහිදී ඔවුන් මූලික වශයෙන් ඉලක්ක කරනුයේ කෘෂිකාර්මික අංශය වේ.

එමගින් ගොවිතැන් පිළිවෙත් වැඩි දියුණු කිරීම සඳහා කාර්මික යෙදුම්වල අවස්ථා ගවේෂණය කිරීමට ද හැකියාව ලැබේ.

සමාගමේ ගෝලීය සැලසුම්වල කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පිවිසීම ඩ්‍රෝන-හිතකාමී නියාමන පරිසරය වැඩිදියුණු කර ගැනීම සඳහා සහාය වනු ඇති බව
ගරුඩා ඒරෝස්පේස් සමාගම පවසයි.

ඉදිරි වසර කිහිපය තුළ අවම වශයෙන් රටවල් 50ක සමාගම ව්‍යාප්ත කිරීම ගරුඩා ඒරෝස්පේස් හි බලාපොරොත්තුව වී තිබේ.

ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම සඳහා එම සමාගම 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි 100 ඉක්මවූ ආදායමෙන් ඩොලර් මිලියන 10ක් වෙන් කර ඇත.

“අපගේ පැමිණීම හුදෙක් අපගේ දියුණුවක් පමණක් නෙවෙයි, එය විවිධ අංශ සඳහා ඩ්‍රෝන් තාක්‍ෂණයේ දොරටු විවෘත කිරීමක්. අපගේ නව්‍ය විසඳුම් මගින් කෘෂිකර්මාන්තයේ සිට යටිතල පහසුකම් දක්වා ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ගෙන දෙන ආකාරය ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලසයි කියා අපි විශ්වාස කරනවා,” යනුවෙන් ගරුඩා ඒරෝස්පේස් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අග්නිෂ්වර් ජයප්‍රකාශ් පවසයි.

කුඩා හා මධ්‍යම කාණ්ඩයේ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන ගරුඩා ඒරෝස්පේස්, ග්‍රීක නිෂ්පාදක Spirit Aeronautical Systems සමඟ මෙම වසර මුලදී හවුල්කාරීත්වයක් ඇතිකර ගත්තේය.

Spirit Aeronautical භ්‍රමණ සහ ස්ථාවර පියාපත් ආයුධ සහිත ඩ්‍රෝන සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

ගරුඩා ඒරෝස්පේස් ඉන්දියාවේ ඩ්‍රෝන් අංශයේ වර්ධනය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශ අභ්‍යවකාශ දැවැන්තයා වන තේල්ස් සමඟ ගිවිසුමක් ද අත්සන් කර ඇත.