March 9, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත්, එක් කාලයක විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය පැරණි සගයන් වූ කුඩා දේශපාලන පක්ෂ පසුපස යෑමට සිදුවීම දෛවෝපගතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එතරම් ජනප්‍රිය නොවන උතුරේ, එහි පැරණි සගයා වන ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (EPDP) නෙළුම් පොහොට්ටුව යටතේ මැතිවරණයට මුහුණ දීමට යෝජනා කර ඇති නමුත් EPDPය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

එම නිසා දැන් පොහොට්ටුවට විකල්ප කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සෙවීමට සිදුව ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී EPDP මහලේකම් ඩග්ලස් දේවානන්දා පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අපොහොසත් වීමෙන් පසු පක්ෂය තමන්ගේම සංකේතය යටතේ මැතිවරණයට මුහුණදීමට සැලසුම් කරයි.

පොදුජන පෙරමුණ අතීතයේ තමන් ශක්තිමත් කාලයේ, EPDP පක්ෂයට පොහොට්ටුව යටතේ තරඟ කිරීමට බලකෙරුණු බව ප්‍රසිද්ධ රහසකි.

කෙසේවෙතත් පසුගිය සතිය මුලදී, පොදුජන පෙරමුණ විසින් දෙමළ සතිපතා පුවත්පතක හිටපු කර්තෘවරයකු කිලිනොච්චි දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කරන ලද්දේ වන්නියේ තරුණයන් අතර පක්ෂයට සහයෝගය ලබාගැනීමේ අරමුණිනි.