February 23, 2025

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටළීමකට අදාළව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී, ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද පැනිල්රො (panilro) වෙළද නාමය සහිත ලේබල යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොළට නිකුත්කිරීමට ගබඩාකර තිබු පුගොඩ, දන්ගල්ල ප්‍රදේශයේ පිහිටි පැනිල්රො පෞද්ගලික සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන මුංහේනගේ නිශාන්ත සමන් කුමාර ප්‍රනාන්දු සහ කළමනාකරුවකු වන ගනේගමගේ අගලකොටුවේගෙදර විජයසිරි යන අයට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල් නියම කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

එසේම එහි නිෂ්පාදනය කර තිබු රුපියල් මිලියනයකට අධික වෙළදපොළ වටිනාකමක් සහිත පානීය ජල බෝතල් 6800 කට වැඩි සංඛ්‍යාවක් අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශකිරීමටත් මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා නියම කර තිබේ.

ඒ අනුව, 2025.02.20 දින අදාළ පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත්කර, හිස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමුකරනු ලැබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංජනය ව්‍යාජ ලෙස යොදාගනිමින් අසත්‍ය නියෝජනයක් සිදුකර පාරිභෝගිකයා නොමග යැවීමටත්, රැවටීමටත් තුඩුදෙන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා දෙකක් යටතේ අදාළ නඩුව පවරා තිබිණි.