January 5, 2024

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියමින් එම විමර්ශන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (04) කටයුතු කර ඇත.

හරක් කටා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා වැඩබලන පොලිස්පති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ පැමිණ ඇති අතර, එහිදී මෙම නිලධාරීන් මෙසේ දෝෂදර්ශනයට ලක්කර තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියද, ඔහුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු ඉතා මන්දගාමී අයුරින් සිදුවන බව වැඩබලන පොලිස්පතිවරයා නිරීක්‍ෂණය කර ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැඩි දෝෂදර්ශනයට ලක්කළ ඔහු, හරක් කටාට එරෙහි විමර්ශන සඳහා අමතර පොලිස් කණ්ඩායම් 03 ක් පූර්ණකාලීන විමර්ශන සඳහාව යෙදවීමට කටයුතු කර තිබේ.

මෙරට මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා යුක්තිය මෙහෙයුම ඉතාම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වුවද විදේශීය මත්ද්‍රව්‍ය ජාලයේ වැටලීම් සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රහස් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බවද හෙතෙම කියා ඇත.

එබැවින් හරක් කට්ට එරෙහි විමර්ශන කඩිනම් කර අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසද විමර්ශන නිලධාරීන්ට දැඩිව ප්‍රකාශ කර තිබේ.

ගෙවී ගිය වසර කිහිපයක කාලයේදී හරක් කටා විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 4000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවූ බවට නිවැරදි තොරතුරු ලැබී තිබුණද, මේ වනතෙක් ඔහුට විරුද්ධව කිසිදු මත්ද්‍රව්‍ය නඩුවක් ගොනුකිරීමට නොහැකිවීම විමතියට කරුණක් බවද පොලිස්පතිවරයා පෙන්වාදී ඇත.

හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු සිදුකර, ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.(දිවයින)

42.31%
17.27%
32.76%