March 24, 2025

මෙම වර්ෂයේ ජනවාරි පළමු දින සිට මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 10,886 ක් වාර්තා වී ඇති අතර එය 2024 එම කාල සීමාව සමඟ සැසදීමේ දී 43.4% ක අඩුවීමක් බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.

එසේ වුව ද මේ දිනවල කඩින්කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යංශය අනතුරු අඟවයි.

මෙම තත්ත්වය අවම කර ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් දැනට පවතින දත්ත පදනම් කර ගනිමින් කොළඹ මහ නගර සීමාව ඇතුළු ව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මාර්තු මස 27, 28 සහ 29 දිනයන්හි දී එම වැඩසටහන පැවැත්වෙන අතර එහි දී අවදානම් කොට්ඨාස වල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරීශ්‍ර, ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

මෙම ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වේ.

එම පිරිස් අදාළ ප්‍රදේශයන් හි නිවාස, පරීශ්‍රවල මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිත ය.

ඕනෑම පරිසරයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම්ක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබඳව සොයාබැලීම සිදුකර මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද, යම් අයෙකුට තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතුපැහැ ලප හටගැනීම හා රුධිරවහන තත්ත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබාගන්නා මෙන් ද ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කර සිටී.

ඊට අමතරව උණ පාලනය කරගැනීම සඳහා පැරසිටමොල් ඖෂධය පමණක් ලබාගන්නා ලෙසත් NSAID කාණ්ඩයේ ඖෂධ (ඇස්ප්‍රීන්, මෙෆෙනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෆෙන්, ඩයික්ලොෆෙනැක්) හා Steroids කාණ්ඩයේ ඖෂධ (ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන්) භාවිතයෙන් වළකින ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.