December 8, 2024

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයට අදාළ දත්ත ගොනුවේ දෝෂය දැනට සිදු කෙරෙන පරීක්ෂණවලට බල නොපාන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයක් පවසා තිබේ.

කෙසේවෙතත්, දැනට පවතින නඩුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සැපයීම එම මූලාශ්‍රය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එය දැනට උසාවියේ පවතින නඩුවට බලපෑම් කළ හැකි බව සඳහන් කරමිනි.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරාට දන්වා සිටියේ මැකී ගොස් ඇති විද්‍යුත් තැපෑල නැවත ලබා ගැනීමට රුපියල් මිලියන 121ක් වැය වන බවත් ඒ සඳහා මාස තුනක කාලයක් ගත වන බවත්ය.

මැකී ගොස් ඇති දත්ත රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් රසායනාගාරයේ ගබඩා කර ඇති නමුත් ප්‍රධාන විද්‍යුත් තැපෑල ලබා ගැනීම වළක්වන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊට ප්‍රවේශ විය නොහැකි වී ඇති බව තෙන්නකෝන් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

එක්ස්ප්‍රස් පර්ල් නමැති බහාලුම් නෞකාව, කොළඹ වරාය සහ එම යාත්‍රාවේ දේශීය නියෝජිතයා අතර හුවමාරු වූ විද්‍යුත් තැපෑල් පණිවුඩ කිහිපයක් මකා දමා ඇති බව අධිකරණයට දන්වා තිබිණි.

2021 මැයි 10 සහ 21 අතර යවන ලද මෙම ඊමේල්, 2021 මැයි 20 දින නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳ විමර්ශනයට තීරණාත්මක ලෙස සළකනු ලැබීය.

යාත්‍රාව කොළඹ වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් කරුණු වසන් කිරීම සඳහා දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම සමඟින් ඊමේල් ඇතුළත් දත්ත ගබඩාවට කිහිප වතාවක් ප්‍රවේශ වී ඇති බවට තෙන්නකෝන් මීට පෙර චෝදනා කළේය.

දෙපාර්ශ්වයේම තර්ක ඇසීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා තීරණය කර ඇත්තේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස නිශ්චිතව සිතාසි දැනුම්දීමක් නොකළහොත් ඉදිරි නඩු විභාගවලදී සැකකරුවන්ගේ නීතීඥවරුන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය හැකි බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ විද්‍යුත් තැපැල් දත්ත මකා දැමීම සම්බන්ධ පැමිණිල්ල 2025 අප්‍රේල් 29 දින නැවත කැඳවීමට නියමිතය.

42.31%
17.27%
32.76%