April 6, 2025

වරායේ සිදුවන ප්‍රමාදයන්ගේ පිරිවැය සඳහා ශ්‍රී ලංකාව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 600ක් පමණ වැය කරන බවත් එයින් සියයට 80ක් රේගු සහ රජයේ නිෂ්කාශන ප්‍රමාදයන්ට අදාළ බවත් පෙනීගොස් තිබේ.

නිෂ්කාශන යොමු කිරීමේ නියෝජිතයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ වාප්පු සහකාරවරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් නියාස් පවසන්නේ අකාර්යක්ෂමතාව රටේ තරඟකාරිත්වය දුර්වල කරන අතර ආනයන පිරිවැය වැඩි කිරීමටත් පාරිභෝගික මිල ඉහළ යෑමටත් හේතුවන බවයි.

වරායන්හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බවත්, ලේඛනගත ගැටලු පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් සිදු නොකර මෙය කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආනයන බහාලුම් රැඳී සිටින කාලය සාමාන්‍යයෙන් දින හතක් වන අතර එය ගෝලීය මිණුම් සලකුණුවලට වඩා සැළකිව යුතු ලෙස දිගු වේ.

වේගවත් නිෂ්කාශනය සඳහා ඔහු ඉස්මතු කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් වන්නේ යාත්‍රා පැමිණීමට පෙර රේගු ප්‍රකාශය කල්තියා ඉදිරිපත් කිරීම,
අතිරික්ත සහ අනුපිටපත් රේගු පරීක්ෂණ ඉවත් කිරීම, ප්‍රමාදයන් අවම කිරීම සඳහා නිෂ්කාශන ක්‍රියා පටිපාටි විධිමත් කිරීම, වෙනම ක්‍රියාත්මක රේගු විමර්ශන ඒකක 22ක් තනි ස්වයංක්‍රීය අවදානම් කළමනාකරණ ඒකකයකට මධ්‍යගත කිරීම වැනි යෝජනායි.

නවතම ගැසට් සංශෝධනයේ අතිරේක වගන්තියක් හේතුවෙන් ලාෆ් ගෑස් සමාගමට LP ගෑස් ආනයනයේ දී රුපියල් මිලියන 850ක බැංකු ඇපකරයක් තැබීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.

එවැනි ක්‍රියා මෙහෙයුම් පිරිවැය ඉහළ නංවන අතර පාරිභෝගිකයන් මතට ඉහළ මිල ගණන් පැටවීමට ද හේතුවක් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මාර්තු 31 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල රු. 3680 සිට රු. 4100 දක්වා වැඩි කරන ලද අතර එය රු. 420ක වැඩිවීමකි.

ඒකාබද්ධ, කාර්යක්ෂම ආනයන නිෂ්කාශන පද්ධතියක් ඇති කළ හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව යල් පැන ගිය ක්‍රියාවලීන්ගෙන් ඔබ්බට යා යුතු බව නියාස් අවධාරණය කළේය.