July 19, 2023

මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත්කිරීම කුමන්ත්‍රණකාරී ලෙස ප‍්‍රමාද කිරීමට උත්සාහ කරන බවට මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කරති.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන්නේ, හදිසියේ කොමිෂන් සභාවට සාමාජිකයන් පස්දෙනකු පත්කිරීමට වඩා, දැනට සිටින සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකුගේ අනුමැතිය ලබාගැනීමෙන් මැතිවරණ සම්බන්ධයෙන් තීරණාත්මක තීරණවලට එළඹීම පහසු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කර ඇති මොහොතක මෙවැනි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම භයානක බවහෙතෙම පෙන්වාදෙයි.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව නීතිමය කටයුතු සිදුවෙමින් පවතින පසුබිමක මෙවැනි ක්‍රියාමාර්ග පිළිගත නොහැකි බවද ඔහු සඳහන් කරයි.

මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ග (පැෆ්රල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ, මැතිවරණ කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් වහාම පත්කළ යුතු බවයි.

මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වගකීමක් බවත් කොමිසමට ස්වාධීනව කටයුතු කළ හැකි බව සහතික කිරීම රජයේ වගකීම බවත් ඔහු අවධාරණය කරයි.

වාර්තා අනාවරණය කරන ආකාරයට, මේ දිනවල සිදුකෙරෙන්නේ මැතිවරණ කොමිසම් සාමාන්‍ය දෛනික කටයුතු පමණකි.