June 19, 2024

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට ශිරාන් බාසික් නමැත්තාට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය ඉදිකිරීම සඳහා රජයේ ඉඩමකට කූඨ ලේඛන සකස්කර ලබාදුන් බවට සැකපිට වෙරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනිල් විජේසිංහ ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනිල් විජේසිංහ මේ වනවිට විශ්‍රාම ගොස් සිටින අතර ඔහු නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

මෙම කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිල් විජේසිංහ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්ඔහු විසින් මීට පෙර අධිකරණයෙන් අපේක්ෂිත ඇපයක් ඉදිරිපත් කර තිබිණි.

ඊයේ පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔහු ගල්කිස්ස කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබිණි.

එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් අතර පසුව ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයාව සිටි කාලසීමාවේදී අනිල් විජේසිංහ මෙම කූට ලේඛනය සකස් කර රජයේ ඉඩම ශිරාන් බාසින්ගේ පියාට තෑගි ඔප්පුවකින් ලබාදී තිබූ බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ව්‍යාජ ඔප්පු සකස් කිරීම සහ රජයේ ඉඩමක හෝටලයක් ඉදිකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් තවත් රජයේ නිලධාරීන් දේශපාලනඥයන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

එම සැකකරුවන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් කියාසිටියේය.

මෙම හෝටලයේ කළමනාකාරීත්වය විසින් හෝටලය ඉදිකිරීමට, තැබෑරුම් සඳහා අවසර ලබාගැනීම ඇතුළු තවත් අවසර ලබාගැනීම් කීපයක් සඳහා ඉදිරිපත් කර ඇත්තේ රජයේ ඉඩම සඳහා සැකසූ මෙම කූඨ ලේඛනය බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හිටපු ලේකම්වරයා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත පසුව ඊයේ මුදාහැර තිබේ.

42.31%
17.27%
32.76%