June 7, 2024

රටේ උපත් අනුපාතිකය පහත වැටීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ, Covid-19 වසංගතයෙන් පසුව සහ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ එය ස්වභාවික සිදුවීමක් බැවින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට තමන්ට ඇති ඉඩකඩ සීමිත බවයි.

The Daily Morning වෙත අදහස් දක්වමින් එම කාර්‍යංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චිත්‍රමාලි ද සිල්වා අවධාරණය කළේ උපත් අනුපාතිකය අඩුවීම ඇත්තෙන්ම සමාජ ප්‍රශ්නයක් වුවත් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි.

ඉදිරි වසර කිහිපය තුළ එය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය පැවසීය.

වසංගතයේ බලපෑම සහ ආර්ථික ස්ථාවරත්වය දායක සාධක ලෙස සඳහන් කරමින් ආචාර්ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ උපත් අනුපාතිකය ඉහළ නැංවීමට මැදිහත් වීමට පවුල් සෞඛ්‍ය කාර්‍යංශය හට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩක් බවයි.

මෙවැනි අභියෝගාත්මක කාලවලදී උපත් අනුපාතිකයේ අඩුවීමක් නිරීක්ෂණය කිරීම පුදුමයක් නොවන බව ද ඇය පැවසුවාය.

Covid-19 වසංගතය සහ ආර්ථික අර්බුදය පවුල් සැලසුම් සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ තීරණවලට බලපා ඇති බවට සැකයක් නොමැති බව ද ඇය පෙන්වා දී තිබේ.

ආචාර්ය චිත්‍රමාලි ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ, පවුල් සෞඛ්‍ය කාර්‍යංශය අඹුසැමියන් වැඩි වශයෙන් හෝ අඩුවෙන් දරුවන් බිහි කිරීම වෙනුවෙන් පෙනී නොසිටින නමුත් ඒ වෙනුවට ඔවුන්ගේ පෞද්ගලික තත්වයන් මත පදනම්ව දැනුවත් තීරණ ගැනීමට ඔවුන් දිරිමත් කරන බවයි.

“පවුල් සැලසුම් තීරණ සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ස්වාධිපත්‍යයට අපි ගරු කරන අතර අඹු සැමියන් තමන් විසින්ම තීරණය කිරීම සඳහා පෙනී සිටිමු. දරුවන් පිළිබඳ තීරණය කිරීමේදී ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සහ දරුවන් අතර වයස් පරතරය පිළිබඳව සැලකිලිමත් වන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු,” ආචාර්ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඇය මෙම තත්ත්වය පිළිබඳව සුබවාදී අදහස් පළ කළ අතර, එය වසංගතයකින් පසුව සහ ආර්ථික අවිනිශ්චිතතාවයකදී ස්වභාවික සංසිද්ධියක් බව ද ප්‍රකාශ කළාය.

“උපත් අනුපාත පහත වැටීමට අභියෝග ඉදිරිපත් කළ හැකි නමුත්, ආර්ථික හා සෞඛ්‍ය අර්බුදවලින් පසු එය සාමාන්‍ය තත්ත්වයක් බව හඳුනා ගැනීම වැදගත්ය. ඉදිරි වසර කිහිපය තුළ එය සාමාන්‍ය තත්ත්වයට පත්වේවි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

පසුගිය වසරේ (2023) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 සහ 2022 අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතිකයේ සැලකිය යුතු අඩුවීමක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද දත්ත පෙන්වා දෙන්නේ 2014 වසරේ සිට අඛණ්ඩ උපත් අනුපාතිකයේ අඩුවීමක් දක්නට ලැබෙන අතර 2019 සහ 2022 අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතිකය විශාල ලෙස පහත වැටී ඇති බවයි.

2023 සහ 2022 වසරවල වාර්තා වූ ලියාපදිංචි උපත් සංඛ්‍යාවේ 6,401 ක අඩුවීමක් ඇති බවත්, 2023 ජුලි 1 වන විට වාර්තා වී ඇති මුළු උපත් සංඛ්‍යාව 268,920 ක් බවත් සංඛ්‍යාලේඛන අනාවරණය කරයි

2022 දී මුළු උපත් 275,321 වාර්තා වී ඇත.

ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතිකයේ විශාල අඩුවීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලින් ද තහවුරු වී ඇති බවයි.

42.31%
17.27%
32.76%