April 18, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඉතිරි කොටස් කතෝලික සභාව වෙත ලැබී ඇති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි .

කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ සති තුනකට පමණ පෙර එය පල්ලියට ලැබුණු බවයි.

නීතිඥයන් කණ්ඩායමක් එම වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවත් අධ්‍යයනය අවසන් වූ පසු ඒ පිළිබඳ ප්‍රකාශයක් සිකරන බවත් කාදිනල් හිමිපාණන් පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය වින්දිතයන් දිවි පිදූවන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය ලබන ඉරිදාට යෙදී තිබෙන පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය සමරන විට ආරම්භ කරන බව ද උන්වහන්සේ පැවසීය.

කටුවාපිටිය දේවස්ථානයේ, කොච්චිකඩේ දේවස්ථානයේ සහ සියොන් දේවස්ථානයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සියලු දෙනාගේ නම්, ඉරිදා පැවැත්වීමට නියමිත සැමරුම් වැඩසටහන්වලදී වතිකානු තානාපති වෙත භාරදීමට නියමිතය.

මෙම වින්දිතයන් දිවි පිදූවන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය එදින ආරම්භ වේ.

එම වින්දිතයන් පළමුව ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශ කරනු ලබන අතර එය යමකු ප්‍රාණ පරිත්‍යාගිකයකු ලෙස ප්‍රකාශ කිරීමේ පළමු පියවර වන බවත් මෙම වින්දිතයන් ඔවුන්ගේ ඇදහිල්ල නිසා එම දෛවෝපගත දිනයේ දේවස්ථානයට ගිය නිසා ඔවුන් දිවි පිදූවන් ලෙස හැඳින්විය හැකි බවත් කතෝලික සම්ප්‍රදාය පැහැදිලි කරමින් කාදිනල් හිමිපාණන් පැවසීය.

අප්‍රේල් 20 සෙනසුරාදා කොච්චිකඩේ පල්ලියේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යාඥා පෙරහැරක් සංවිධාන කර ඇති අතර 2024 අප්‍රේල් 21 ඉරිදා කටුවාපිටිය දේවස්ථානයේ සහ කොච්චිකඩේ දේවස්ථානයේ ගුණ සමරු වැඩසටහන් දෙකක් සංවිධානය කර තිබේ.

ඉරිදා පස්වරුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා තවත් පෙරහැරක් සංවිධානය කර ඇත.

කොච්චිකඩේ දේවස්ථානයේ පැවැත්වෙන උත්සවයේදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වතිකානු තානාපති සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් අදහස් දැක්වීමට නියමිතය.

තම ප්‍රජාවට දැන ගැනීමට අවශ්‍ය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන්ද යන්න පමණක් වන බවත් කිසිවකුගෙන් පළිගැනීමට අදහස් නොකරන බවත් කාදිනල් හිමිපාණන් පැවසීය.

ප්‍රහාරය පිළිබඳ තමන් දන්නා දේ හෙළි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඉල්ලා සිටින බව කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%