March 3, 2025

රජය තම තීරණය නැවත සළකා නොබැලුවහොත් සිදුවිය හැකි මෙහෙයුම් වෙනස්කම් පිළිබඳව ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ,බෙදාහරින්නන් බැංකු සහ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පිළිගැනීම නැවැත්වීමට, කාර්ය මණ්ඩලය අඩු කිරීමට සහ වියදම් අඩු කිරීම සඳහා ඉන්ධන පිරවුම්හල් කළින් වසා දැමීමට ඉඩ ඇති බව සංගමය ප්‍රකාශ කළේය.

මෙම ගැටළුව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක රැස්වීමක් අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සූත්‍රය සංශෝධනය කිරීමෙන් පසුව, බෙදාහරින්නන් සඳහා කොමිස් මුදල 3% සිට ආසන්න වශයෙන් 1.7% දක්වා අඩු කිරීමෙන් පසුව මෙම ආරවුල ඇතිවිය.

බෙදාහරින්නන් පවසන්නේ, මෙම පියවර ඔවුන්ගේ ලාභ 43% කට වඩා අඩු කර ඇති බවත්, එමඟින් මෙහෙයුම් ලාභදායි නොවන බවත්ය.

ඊට විරෝධතාවයක් ලෙස, ඉන්ධන පිරවුම්හල් හිමියන් 500 කට ආසන්න සංඛ්‍යාවක් රජයේ ආයතනවලට ණයට ඉන්ධන විකිණීම අත්හිටුවා ඇති අතර, නව ඉන්ධන ඇණවුම් ද නතර කළ අතර, සති අන්තයේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති කළේය.

කෙසේවෙතත් සිය මතය නිවැරදි බව පෙන්වාදෙමින් ඛනිජ තෙල් සංස්ථාව සිය තීරණය වෙනස් නොකරන බව අවධාරණය කරයි.