September 1, 2024

2011 වසරේ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව සහ එහි ඉඩම් සෙවණගල සීනි කර්මාන්තායතනයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින තක්සේරුව අනුව තමන්ට රුපියල් බිලියන 27ක වන්දි මුදලක් හිමි විය යුතුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ චෝදනා කරයි.

ඔහු ප්‍රකාශ කරන්නේ 2011 වසරේදී කර්මාන්ත ශාලාව පවරා ගත්තද තමන්ට කිසිදු වන්දි මුදලක් ලැබී නොමැති බවයි.

ඒ අනුව, වත්මන් තක්සේරුවලට අනුව රුපියල් බිලියන 27ක වන්දියක් සඳහා ඔහු නව හිමිකම් පෑමක් ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත්, ඉදිරිපත් කරන ලද හිමිකම් පෑම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සැපයීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත්තේ එය අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයකදී අභියෝග වෙමින් පවතින බව පවසමිනි.

එසේ වුවද තමන්ට වන්දි ලබාදීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බවත්, එබැවින් අදාළ වත්කම්වල වර්තමාන තක්සේරුව මත පදනම්ව ඔහුට වන්දි ගෙවීමට රජය බැඳී සිටින බවත් ඔහු සඳහන් කර ඇත.

“රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව 2013 වසරේ තක්සේරුවක් කළා. ඔවුන් මට ඒ වෙලාවේ වන්දි ගෙවන්න තිබුණා. තක්සේරුව නැවත සළකා බැලීමට වන්දි විනිශ්චය සභාවට එරෙහිව අපට නඩු දෙකක් තිබුණා. රජයේ නිලධාරීන් මට වන්දි දෙන්න බැරි වුණා. ඔවුන් මට මූලික අත්තිකාරම් මුදලක් ගෙව්වා. ඔවුන්ට එම තක්සේරුව මත විශ්වාසය තැබීමට අවශ්‍ය නම් ඔවුන් මට වන්දි ගෙවීමේ ප්‍රමාදය සඳහා පොලිය ගණනය කළ යුතුයි.” යනුවෙන් ඔහු පවසා ඇත.

ඒ අනුව පසුගිය වසර 13ක කාලය තුළ ඒකාබද්ධ භාණ්ඩාගාර බිල්පත් අනුපාත අනුව ලැබිය යුතු පොලිය ගණනය කරන ලෙස තමන් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත්, පවතින ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ඇතැම් දේශපාලන පක්ෂ තම යුක්තිය වෙනුවෙන් කරන සටන යටි අරමුණු සඳහා එය යොදා ගැනීමට උත්සාහ කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.(Sunday Morning)