December 4, 2024

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතාමතා මකාදමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබාගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ කරුණු දක්වමින් ඊයේ (03) පැවැසීය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යම තොරතුරු ගබඩාව මාස හතරක් තිස්සේ අක්‍රීයව ඇති බවත්,එය ප්‍රතිස්ථාපනය කිරීමට මාස තුනක් කල් ගතවන බව සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා එසේ සඳහන් කළේය.

අක්‍රියව ඇති මෙම පරිගණක දත්ත ගබඩාව නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑස් ලක්ෂයකට අධික මුදලක් වැය වෙන බවට (ibm)අයි.බි.එම්. සමාගම දැනුම් දී ඇති බවත්, පසුගිය සමයේ මැතිවරණ පැවැති බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමට නොහැකි වූ නිසා මාස තුනකට අධික කාලයක් ගතවෙනු ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බව අවධාරණය කළ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත මකාදමා ,එම නෞකාවේ කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින්, නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට හාබර් මාස්ටර්වරයාගේ අවසරය ලබාගැනීමට නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනය කටයුතු කර ඇති බවට සඳහන් කරමින්, දේශීය නැව් සමාගමට හා එහි නිලධාරීන් හත්දෙනකුට එරෙහිව සිදුකරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එසේ පැවැසීය.

හිතාමතාම ඊමේල් දත්ත මකා දැමුවේ ද යන්න පිළිබඳ රසපරීක්ෂකවරයාගේ විශේෂඥ වාර්තාව ලබාගැනීමට තවත් මාස තුනක කාලයක් ලබාගත යුතු බවත්, ඒ අනුව විමර්ශන විභාගය මාස තුනක කාලයකට කල්දමන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින්, මෙරට මුහුදේ දී 2021 මැයි 19 වැනි දින ගිනි ගැනීමට ලක් වූ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනිගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් වැඩිදුරටත් පැවැසීය.

මෙම විමර්ශනය බරපතල චෝදනාවක් සනාථ කිරීම පිළිබඳව සිදුකරන විමර්ශනයක් බවත්, දත්ත මකාදැමීම සම්බන්ධයෙන් දේශීය නැව් සමාගම වගකිවයුතු බවත් මාධව තෙන්නකෝන් වැඩිදුරටත් අවධාරණය කළේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%