April 5, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට 2023 වසරේ දී පැමිණිලි 5,243ක් ලැබී ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ පවසයි.

ඇය පෙන්වාදෙන්නේ 2024 මාර්තු මස තුන්වැනි සතිය වන විට තම කොට්ඨාසයට පැමිණිලි 1500කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

ඩිජිටල් උපාංග භාවිතය ඉහළගොස් ඇති බැවින් ඒ සමඟම සයිබර් අපරාධ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

“සෑම කෙනෙකුටම පාහේ ස්මාර්ට් ජංගම දුරකතනයක් තියෙනවා. අධ්‍යයන කටයුතු සඳහා ස්මාර්ට්ෆෝන් අත්‍යවශ්‍ය වී තිබෙන නිසා බොහෝ දරුවන්ට ඒවාට ප්‍රවේශ වෙන්න පුළුවන්. බොහෝ දරුවන්ට අන්තර්ජාලයට ප්‍රවේශවීමේ හැකියාව වගේම බොහෝ දෙනෙකුට SIM එකකට වඩා තිබෙන බව පෙනී ගිහින් තිබෙනවා. මෙය කොවිඩ්වලින් පසු අපට නිරීක්ෂණය වන ප්‍රවණතාවක්. උපාංග සංඛ්‍යාව වැඩිවීමත් සමඟ අපට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවත් වැඩියි ” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණසිංහ පවසයි.

පැමිණිලිවලට අදාළ වින්දිතයන්ගෙන් සියයට 63ක් පමණ කාන්තාවන් බව ද ඇය පැවසුවාය.

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන බවට එල්ලවන තර්ජන, සයිබර් තර්ජන සහ සමාජ මාධ්‍ය ගිණුම් හෝ උපාංග වෙත අනවසරයෙන් ඇතුළුවීම ප්‍රධාන පැමිණිලි අතරට අයත් වේ.

“ෆේස්බුක් සහ වට්ස්ඇප් ගිණුම් ගොඩක් හැක් වෙනවා. ඔබ වෙත එවන ලින්ක් එකක් ක්ලික් කළවිට මෙය සාමාන්‍යයෙන් සිදුවෙන්නේ. යමකු ඔබට ලින්ක් එවනවානම් ඉතා ප්‍රවේශම්වන්න,” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණසිංහ අනතුරු අඟවා සිටියි.

සෑම දිනකම ෆේස්බුක් වෙතින් ව්‍යාජ ගිණුම් 200ක් පමණ අක්‍රිය කරන ලෙස ඉල්ලීම් ලැබෙන බව ද ඇය පැවසුවාය.

වෙනත් පුද්ගලයන් සමඟ මුරපද බෙදා ගැනීමේ පුරුද්දක් මෙරට ඇතැමුන් සතුව ඇති බවත් එමගින් මුරපද සොරකම් කිරීමට, මුදල් වංචා කිරීමට සහ අනන්‍යතා සොරකම් කිරීමට ඉඩ සැලසී ඇතිබවත් ඇය පැවසුවාය.

“OTP එක අදාළ වෙන්නේ ඔබට පමණයි. ඔබ වඩාත්ම විශ්වාස කරන පුද්ගලයන් එක්කවත් මෙය බෙදාගන්න යන්න එපා, ” යනුවෙන් ඇය අවධාරණය කළාය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමපෙරුම පවසන්නේ, හිටපු පෙම්වතුන් විසින් කාන්තාවන්ගේ ඡායාරුප අන්තර්ජාලයට මුදාහරින අවස්ථා ඕනෑ තරම් ඇති බවයි.

එවැනි වින්දිතයන්ට ළඟම ඇති පොලිස් ස්ථානයට සම්බන්ධ වන ලෙසත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ඡායාරූප අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඇය පැවසුවාය.

“අපි ප්‍රධාන අන්තර්ජාල සමාගම් සමඟ ද සම්බන්ධ වීඉන්නේ. ඒ නිසා බිය විය යුතු නැහැ. බොහෝ අවස්ථාවල අපරාධකරුවෙක් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට පෙර කාන්තාවට තර්ජනය කරනවා. ඔවුන් ලිංගික අල්ලස් හෝ මුදල් ඉල්ලා සිටිය හැකියි. එවැනි අවස්ථාවක වින්දිතයන් වහාම පොලිසියට පැමිණිලි කළ යුතුයි. එතකොට පොලිසිය සාමාන්‍යයෙන් අපට දන්වනවා. පොලිසිය සම්බන්ධ වූ විට, මෙම අපරාධකරුවන්ගෙන් වැඩි දෙනෙක් වහාම ඉවත්වනවා ” යනුවෙන් ඇය පැවසුවාය.

සහකාර පොලිස් අධිකාරී අරුමපෙරුම පැවසුවේ ප්‍රදේශ හතරක (මාතර, මහනුවර, මහඔය සහ වාරියපොළ) මේ වන විට උප ඒකක හතරක් ස්ථාපිත අතර සෑම පළාතකම එවැනි ඒකක ස්ථාපනය කිරීමට පියවර ගන්නා බවයි.

42.31%
17.27%
32.76%