March 21, 2025

මත්පැන් පානය කරන අතරතුර පුද්ගලයකු විසින් මිතුරකුගේ ඇඟිල්ලක් කපාදැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සිද්ධියට මුහුණ පා ඇත්තේ කළුතර, රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මානික්කරත්න සුසිල් සුරංග නමැති අයෙකි.

ඔහු අනතුරට මුහුණපා ඇත්තේ මාර්තු 6 වැනි දින වුවද සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ මාර්තු 20 වැනිදාය.

එම පැමිණිල්ලට අනුව සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා මත්පැන් පානය කිරීම සඳහා මිතුරකුගේ නිවසට ගොස් ඇති අතර, පසුව වෙනත් පුද්ගලයකු ද ඔවුන් සමඟ එක්ව තිබේ.

එහිදී ඔවුන්ගෙන් එක් අයකු අනෙක් පුද්ගලයාට කම්මුල් පහරක් එල්ල කිරීමත් සමඟ බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී මත්පැන් පානය සඳහා නිවසට ආරාධනා කළ පුද්ගලයා මුළුතැන්ගෙට ගොස් කොක්කක් වැනි යමක් රැගෙනවිත් මිතුරාට පහර දී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ වම් අතේ මාපටැඟිල්ල කැපීගොස් ඇති අතර, ඔහුගේ දකුණු අතේ වැලමිටට ඉහළින් ද කැපුමක් සිදුවී ඇත.

අනතුරුව ඔහු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

එම අවස්ථාවේදී තමන් අසනීපව සිටි මව බැලීමට ගිය බව වින්දිතයා වෛද්‍යවරුන්ට පවසා ඇත.

මාර්තු 11 වැනි දින රෝහලෙන් පිටව ගිය පසු බීමතින් සිටි බව කියන සැකකරු පිහියක් පෙන්වා තර්ජනය කර බැනවැදීමෙන් පසු පැමිණිල්ලක් ගොනුකිරීමට වින්දිතයා තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.